SLT-MOBITEL ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රථම ග්‍රාමීය 4G කුලුන ස්ථාපිත කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවට 100% ක් 4G LTE සම්බන්ධතා පහසුකම් ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.


කුරුණෑගල හිරුවල්පොළ ප්‍රදේශයේ මෙම නව 4G කුලුන ස්ථාපිත කරන ලද අතර, මේ යටතේ එම ප්‍රදේශයේ විශාල පිරිසකට නවීන සම්බන්ධතා පහසුකම් හිමිවනු ඇත. බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය පදනම් කරගත් පාරිභෝගික හා ආයතනික සේවාවන් තවදුරත් ව්‍යාප්ත කරමින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතියේ මූලික අරමුණ සාක්ෂාත් කරගැනීමට අත්වැලක් වීම සඳහා SLT-MOBITEL දිගින් දිගටම කටයුතු කරමින් සිටී.


ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන්, NB-IOT, 5G, AI, සහ Big Data වැනි තාක්ෂණයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්, මෙරට ඩිජිටල් තාක්ෂණ භාවිතාව පුළුල් කිරීම සහ රටේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සඳහා SLT-MOBITEL මේ වනවිට පුරෝගාමී මෙහෙවරක් ඉටුකර තිබේ.


අන්තර්ජාල සම්බන්ධතා වල වේගයන් පරීක්ෂාවට ලක්කිරීම සම්බන්ධ ලොව ප්‍රමුඛයා වන Ookla විසින්, 2019 සහ 2020 වසර වලදී මෙන්ම 2021 වසරේ ප්‍රථම අර්ධයේදීද ශ්‍රී ලංකාවේ වේගවත්ම ජංගම දුරකථන ජාලය ලෙස SLT-MOBITEL Mobile නම්කරන ලදි.


ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරමින් SLT-MOBITEL මේ වනවිට මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ උන්නතිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 800 කට වැඩි ආයෝජනයන්ද, 5G තාක්ෂණය හඳුන්වා දීමට අදාළ කටයුතු සඳහා රු. බිලියන 1.5 කට වැඩි ආයෝජනයන්ද සිදුකර තිබේ.