SLT-MOBITEL පුහුණු මධ්‍යස්ථානය සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව අතර ඓතිහාසික ගිවිසුමක්

SLT-MOBITEL පුහුණු මධ්‍යස්ථානය (SLT-MOBITEL Training Center – SLTTC), Pearson BTEC Level 5 HND පාඨමාලාව සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව වෙතින් NVQ Level 6 පිළිගැනීම හිමිකරගැනීමට පසුගියදා සමත් විය. ශ්‍රී ලාංකික අධ්‍යාපන ආයතනයකට මෙම පිළිගැනීම හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.


මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඇතිකරගත් ගිවිසුමට, SLT ප්‍රධාන විධායක නිලධාරී (හිටපු) කිත්ති පෙරේරා මහතා සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය. කේ. ඒ. ලලිතධීර මහතා විසින් අත්සන් තබන ලදි. ඒ අනුව මින් ඉදිරියට වැලිසර පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානයේදී, NVQ Level 6 ප්‍රමිතීන්ට අනුකූලව, Pearson BTEC Level 5 Higher National Diploma (Electrical & Electronic Engineering) පාඨමාලාව පැවැත්වෙනු ඇත.


“SLTTC මගින් පිරිනමනු ලබන Pearson BTEC Level 5 Higher National Diploma පාඨමාලාවට NVQ Level 6 තත්ත්වය හිමි වීම සහ, එම තත්ත්වය හිමිකරගත් ප්‍රථම අධ්‍යාපනය බවට පත්වීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙමගින් අපගේ කාර්ය මණ්ඩලයටත් සිසුන්ටත් නැගී එන වෙළඳපොළක අර්ථවත් හා තිරසාර රැකියා අවස්ථාවන් උදාකර ගැනීමට හැකියාව ලැබෙනවා.” SLT ප්‍රධාන විධායක නිලධාරී (හිටපු) කිත්ති පෙරේරා මහතා පැවසී ය.


මේ අනුව NVQ 4 හෙවත් A15 සිට A11 දක්වා තාක්ෂණික ශ්‍රේණියේ සුදුසුකම් සපුරා ඇති SLT-MOBITEL සේවක සේවිකාවන්ට Telecommunication Technical Officer (TTO), Grade 9 තත්ත්වය සඳහා සුදුසුකම් ලැබීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම SLT-MOBITEL බඳවාගැනීම් හා උසස්වීම් ක්‍රියා පටිපාටියට අනුව, Pearson BTEC Level 5 Higher National Diploma සුදුසුකම් හිමි පුද්ගලයන් TTO තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති ලෙස සැලකේ.


SLT-MOBITEL කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ දරුවන් අතරින් සාමාන්‍ය පෙළ සුදුසුකම් නොලැබූ දරුවන්ට, NVQ Level 4 සුදුසුකම් ලබාගෙන ඉන් අනතුරුව NVQ 6 සුදුසුකම් ලබාගැනීම සඳහා අවස්ථාව හිමි වේ. NVQ 6 සුදුසුකම් පිරිනැමීම සඳහා අවස්ථාව ලැබීම, ජාත්‍යන්තර තලයේ පුහුණු ආයතනයක් බවට පත්වීම සඳහා SLTTC ආයතනය දරන උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයකි.


NVQ 6 ජාතික ඩිප්ලෝමාවට දේශීය හා ජාත්‍යන්තර තලයන් තුළදී ඉහළ පිළිගැනීමක් හිමිවන නිසා, BTEC Electrical and Electronics Diploma පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කරන සිසුන්ට ආකර්ෂණීය රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වනු ඇත.


“විධිමත් ඇගයීමක් සිදුකිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ වැලිසර පුහුණු ආයතනය මගින් පිරිනමනු ලබන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය පිළිබඳ Pearson HND පාඨමාලාවට NVQ level 6 තත්ත්වය පිරිනැමීමට හැකිවීම අපට සතුටක්. මේ ඓතිහාසික පියවර නිසා, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය හදාරන තරුණ තරුණියන්ට ශ්‍රී ලංකා රජයේ පිළිගැනීම සහිත සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා. එමෙන්ම මෙය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවක සේවිකාවන්ටත් උසස් තත්ත්වයේ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරමින් තම වෘත්තීය සුදුසුකම් ඉහළ නංවා ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.” තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (සැලසුම් හා පර්යේෂණ- NVQ) ආචාර්ය අජිත් පොල්වත්ත මහතා පැවසී ය.


“BTEC Level 5 Higher National Electrical and Electronic Engineering පාඨමාලාව සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව වෙතින් NVQ Level 6 තත්ත්වය හිමි වීම පිළිබඳව ශ්‍රී ලංකා ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානයට මා සුබ පතනවා. මෙය SLTTC සහ Pearson යන දෙපාර්ශ්වයම ලැබූ ජයග්‍රහණයක්. මෙමගින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් රැසකට ජාත්‍යන්තර තලයේ සුදුසුකම් සපුරාලීමට අවස්ථාව ලැබේවි කියා මා සිතනවා.” Pearson හි උප සභාපති ජේන් බේකර් මහත්මිය පැවසුවා ය.


1991 වසරේදී ස්ථාපිත කරන ලද තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව, ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධන අවශ්‍යතා සපුරාලිය හැකි ආකාරයේ ඵලදායී හා කාර්යක්ෂම තාක්ෂණික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු පද්ධතියක් රට තුළ පවත්වාගෙන යාම සඳහා කැපවී සිටී.


SLT-MOBITEL හි අධ්‍යාපනික අංශය වන SLTTC, ලොව පිළිගත් Pearson BTEC HND in Electrical and Electronics Engineering පාඨමාලාව ඇතුළු පාඨමාලා රාශියක් මේ වනවිට හඳුන්වා දී ඇත. මාස 24 ක් පුරා විහිදෙන මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සිසු සිසුවියන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් Pearson සුදුසුකම් සපුරාලීමට මෙන්ම, ඉංජිනේරු ගෞරව උපාධි සඳහා ලියාපදිංචි වීමටද අවස්ථාව හිමි වේ.