CL Synergy සමාගම කොළඹ රාජකීය ගෝල්ෆ් සමාජයේ පෙබරවාරි ගෝල්ෆ් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙයි

ශ්‍රී ලාංකීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ඉහළ කීර්තියක් හිමි කරගත් දේශීය ප්‍රමුඛපෙළේ භාණ්ඩ ප්‍රවාහන සේවා සැපයුම්කරුවකු වන CL Synergy Limited සමාගම, කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ ’පෙරබරවාරි මාසයේ පදක්කම් තරගාවලිය’ සඳහා අනුග්‍රාහක දායකත්වය සැපයීම සම්බන්ධයෙන් වන මාධ්‍ය නිවේදනය පසුගියදා නිවේදනය කළේය.

Beyond Boundaries (සීමාවන්ගෙන් ඔබ්බට) යන තේමාව යටතේ සිය මෙහෙයුම් කාර්යයේ නිරත CL Synergy සමාගම, මෙම ක්‍රීඩා තරගාවලිය Beyond the Green යන තේමාව ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. 2022 පෙබරවාරි මස 25 සහ 26 වන දෙදින පුරා කොළඹ රාජකීය ගෝල්ෆ් පිටියේදී පැවැත්වෙන මෙම තරගාවලිය කොළඹ ක්‍රීඩා සමාජයේ කීර්තිමත් තරගකරුවන්ගේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. A, B, C, කාන්තා සහ ජ්‍යෙෂ්ඨ කාණ්ඩ දෙකක් යටතේ මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එහිදී සමස්ත පදක්කම් 18ක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. මෙයට අමතරව විනොදජනක ගෝල්ෆ් ක්‍රීඩා, “Closest to the Pin” සහ “Longest Drive” වැනි ක්‍රියාකාරකම් වලින් මෙම ක්‍රිඩා සැණකෙළිය වර්ණවත් කිරීමට සැළසුම් කර ඇති අතර, තරගයේ ජයග්‍රාහකයින් සඳහා පදක්කම් මෙන්ම වටිනා ත්‍යාග ද ලබාදෙනු ඇත.


අනුග්‍රාහකත්වය නිවේදනය කරමින් CL Synergy සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ රොෂාන් සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ, “කොළඹ රාජකීය ගෝල්ෆ් ක්‍රීඩා සමාජය සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම සම්බන්ධයෙන් අප බෙහෙවින්ම සතුටට පත්වන අතර, මෙම අනුග්‍රාහක දායකත්වය තුළින් ක්‍රීඩාව සඳහා වන අපගේ උනන්දුව වගේම ගෝල්ෆ් ක්‍රීඩා ලෝලීත්වය පෙරටු කරගත් ආයෝජකයින් සහ ක්‍රීඩා ලොලීන්ගෙන් සමන්විත අපගේ සම්බන්ධතා ජාලය මෙයින් වර්ධනය කිරීමට හැකිවෙනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ වගේම මෙය නුදුරු අනාගතයේ කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ මූලික කොටස් නිකුතුවක් ලැයිස්තුගත කිරීමට සූදානම් වන අපගේ ඉදිරි කාර්යයන් සඳහා මෙම සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය මනා පිටුවහලක් වනු ඇතැයි ද අපේක්‍ෂා කරනවා. මෙම තරගාවලියේ නිල අනුග්‍රාහකයා විදිහට අප විශාල පරිශ්‍රමයක් දරමින්, සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කරමින්, සැළසුම් කල කාල සීමාව තුළ සියලුම කාර්යයන් සම්පූර්ණ කිරීමට අපි කැපවී සිටිනවා.”


වැඩිදුරටත් අදහස් දක්වමින්, “ගෝල්ෆ් ක්‍රීඩකයෙක් වගේම ක්‍රීඩා ලෝලියෙක් විදිහටත්, පොදුවේ CL Synergy සමාගම විදිහටත් මේක අපට ගෝල්ෆ් ක්‍රීඩාව තුළ හිමි වූ සුවිශේෂී අවස්ථාවක්. විශේෂයෙන් මෙම තරගාවලිය පිළිබඳව අපේ ආයතනික සාමාජිකයින් දැනුවත් කිරීම සහ එය සම්බන්ධයෙන් උනන්දුවක් ඇතිකිරීම අරමුණු කර ගනිමින් ආයතනනික අංශ අතර විනෝදජනක ගෝල්ෆ් තරගාවලියක් ද සංවිධානය කරනවා. ඒක ‘Beyond the Green’ තරගාවලියේ අත්දැකීම ආයතනය තුළ සැමට ලබා ගැනීමට මහගු අවස්ථාවක් සපයනවා. මේ සියල්ල සමගින් සුවිශේෂී පුද්ගලයන් හමුවෙමින් ඉතා ආකර්ෂණීය ගොල්ෆ් වට කීපයක අත්දැකීම් විඳගැනීමට අප නොබෝ දිනකින් හමුවෙමු.”


මෙම තරගාවලියේ එක් අංශයක් ලෙස ක්‍රීඩකයින් සහ ආරාධිතයින් සඳහා විශේෂ කොක්ටේල් ( cocktail event) උත්සවයක් 2022 පෙබරවාරි 26 වන දින කොළඹ රාජකීය ගෝල්ෆ් සමාජයේදී පැවැත්වීමට ද නියමිත ය. සාමාන්‍යයෙන් මාසික ගෝල්ෆ් තරගාවලිය තුළ දී කාන්තා ගෝල්ෆ් තරගාවලියක් අන්තර්ගත නොවූවද මෙවර මෙම තරගාවලියේ ඇති විශේෂත්වය වන්නේ එය කාන්තා තරගාවලියකින් ද සමන්විත වීමයි.


අංග සම්පූර්ණ භාණ්ඩ ප්‍රවාහන සමාගමක් ලෙස 2004 වසරේ ඔක්තෝබර් 05වන දින CL Synergy Limited සමාගම සංස්ථාපනය කරනු ලැබීය. සිය ගනුදෙනුකරුවන් සඳහා වෘත්තීය මට්ටමේ විශ්වසනීය සහ උසස් සේවාවක් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම සමාගම, ඩිජිටලීකරණය වූ සේවාවන් ඔස්සේ සිය ගනුදෙනුකරුවන් සඳහා ඉතා සමීප, නම්‍යශීලී, ඉහළ තරඟකාරී මිලගණන් යටතේ කාර්යක්‍ෂම සේවාවක් සැපයීම වෙනුවෙන් කැපවෙන සමාගමකි. සිය සේවාවන් විවිධාංගීකරණයට ලක් කර ඇති CL Synergy සමාගම, ඒ යටතේ නැව් කළමනාකරණය, මෘදුකාංග විසඳුම් සහ අයෝජන අවස්ථා මෙන්ම තවත් නව්‍ය ව්‍යාපාර රැසක් ද ඇතුළත් වේ.