වසරකට රත්මලාන කර්මාන්ත ශාලාවේ දුම්රිය 800 ක් පමණ අලුත්වැඩියාවන් සිදු කරයි

දුම්රිය අලුත්වැඩියාවන් සඳහා ක්‍රියාත්මක රත්මලානේ පිහිටි ප්‍රධාන යාන්ත්‍රික කර්මාන්ත ශාලාවේ වසරකට සුළු පරිමාණ අලුත්වැඩියා 650 ක් පමණ හා මහා පරිමාණ අලුත්වැඩියාවන් 150 ක් පමණ සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


මෙම අලුත්වැඩියාවන් අතර වසර 30 ක් පමණ ඉක්මවා ඇති දුම්රිය එන්ජින් මැදිරි හා භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා ගැල් ද වේ.


මෙම අලුත්වැඩියාවන් කටයුතු වලට අමතරව පැරණි එන්ජින්, බලවේග කට්ටල හා මැදිරි සම්පූර්ණයෙන් පුනරුත්ථාපනය කොට නව නිමාවකට භාජනය කර ධාවනය සඳහා යොදවනු ලබයි. මීට අමතරව විශේෂ ව්‍යාපෘති ලෙස සංචාරක ආකර්ෂණ ඇති කිරීමේ හා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් යුතුව, දැව වලින් ප්‍රතිනිර්මාණය කරන ලද මැදිරි නිපදවීම ද ඉංජිනේරුවරුන් හා කාර්මිකයින් විසින් සිදු කරනු ලබයි.


වසර 1936 දී බ්‍රිතාන්‍ය පාලන සමයේදී ආරම්භ කරන ලද මෙම කර්මාන්තශාලා සංකිර්ණය තුළ මේ වන විට ඉංජිනේරුවරුන්, කාර්මික නිලධාරීන්, කාර්මිකයින් ඇතුළු සේවක සංඛ්‍යාව 2260 පමණ සේවයේ නිරත වේ.


කර්මාන්තශාලාවේ දෛනිකව සිදුකෙරෙන කාර්යයන් සොයා බැලීම සඳහා පසුගිය දින ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


මෙහිදී අමාත්‍යවරිය කර්මාන්ත ශාලාවේ සේවකයින්ද හමුවී ඔවුන්ට තිබෙන ගැටළු පිළිබඳව ද සාකච්ඡා කළාය.


මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූවේය.