ශ්‍රීලංකන් ගුවන් යානය ‘Raid Amazones 2022’ ලාංඡනයෙන් සැරසෙයි

2022 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සුප්‍රසිද්ධ ක්‍රීඩා ඉසව්වක් වන ‘Raid Amazones 2022’ හි නිල ගුවන් සේව‍ා සහකරු වන ශ්‍රීලංකන් ගුවන් සේවය ඒ වෙනුවෙන් සිය ගුවන් යානයක් හැඩගැන්වීමට කටයුතු යොදා තිබේ. මෙම වසරේ තරඟාවලිය සඳහා විචිත්‍රවත් හා අද්විතීය පසුබිමක් වන සීගිරිය නිරෑපණය වන අයුරින් මෙම ශ්‍රීලංකන් ගුවන් යානය අලංකාරවත් කර ඇත.


මෙම තරඟාවලිය සඳහා පැරිසියේ සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මෙම ගුවන් යානය යොදාවා ගැනීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව මෙම ගුවන් යානය ගුවන් සමාගමේ අනෙකුත් ගමනාන්ත බොහොමයකට අඛණ්ඩව පියාසර කරනු ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාව ක්‍රීඩා සහ ත්‍රාසජනක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමට හැකිවනු ඇත.


Raid Amazones 2022 යනු වාර්ෂික ක්‍රීඩා ඉසව්වක් වන අතර ප්‍රංශ ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සුවිශේෂී සංචාරක ගමනාන්තයක් පසුබිම් කරගනිමින් විවිධ ක්‍රීඩා ඉසව් හරහා ජයග්‍රහණය සොයා යන ක්‍රීඩා ඉසව්වක් ලෙස මෙය හඳුන්වා දිය හැක. සෑම වසරකම, මෙම උත්සවය ආකර්ශනීය සංචාරක ගමනාන්තයක පවත්වන අතර එමඟින් පුරවැසියන්ගේ ජීවන රටාව, පාරිසරික සුන්දරත්වය සහ සංස්කෘතිය වැනි ආවේනික ලක්ෂණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනුගමනය කරන ආකාරය ගෝලීය මාධ්‍ය හරහා ලොවට ප්‍රදර්ශනය කෙරේ.


මෙහි 20 වන තරඟාවලිය මෙවර ශ්‍රී ලංකාවේ පාරිසරික සුන්දරත්වය, සංස්කෘතික උරුමයන් සහ අව්‍යාජ ගැමි ජීවිතයේ ගුණාංගවලින් පොහොසත් සීගිරි පර්වත බලකොටුව අවට ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පළමු අදියර 2022 මාර්තු මස 13 සිට 23 දක්වා සහ දෙවන අදියර 2022 මාර්තු මස 27 සිට අප්‍රේල් මස 6 දක්වා පිළිවෙළින් පැවැත්වෙන අතර, ඒ සඳහා ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ඇතුළුව 550 කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කර ඇත.


ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, මෙරට සංචාරක ප්‍රවර්ධන ප්‍රයත්නවල පෙරගමන්කරුවෙක් වන අතර, අනාගතයේදී ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවට සංචාරය කිරීමට පැමිණෙන බොහෝ සංචාරකයින් මේ හරහා පෙළඹවීමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරයි.