ශ්‍රී ලංකාවේ පළමුවරට නිෂ්පාදනය කළ Mahindra Bolero City Pik-up රථය වෙළඳපොළට හඳුන්වා දෙයි

Mahindra & Mahindra Ltd. (M&M Ltd.) සහ අයිඩියල් මෝටර්ස් අනුබද්ධිත අයිඩියල් සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කළ නවතම Bolero City Pik-Up රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දීම පසුගිය දා සිදුවිය. මේ අනුව, Bolero City Pik-Up රථය මෙරටදීම එකලස් කොට නිෂ්පාදනය කළ ප්‍රථම වාණිජ රථය බවට පත්වනු ඇත.

මෙහි සියලු නිෂ්පාදන කටයුතු සිදු කෙරුණේ 2019 වසරේ විවෘත කළ වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි Mahindra Ideal Lanka Automotive Assembly Plant නම් වූ මෝටර් රථ එකලස් කිරීමේ අංගනයේ දී ය. මෙම රථය වෙළඳපොළට හඳුන්වා දීම වෙනුවෙන් කොළඹ පැවති උත්සවයේ දී මෙහි පළමු රථ 5 පාරිභෝගිකයන් වෙත ලබා දීම සිදු විය.  Mahindra ideal lanka යනු ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ වාණිජ රථවාහන නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගමක් වන අතර මෙම හඳුන්වා දීමත් සමඟ එම ස්ථාවරය තව දුරටත් තහවුරු කරන්නට සමාගමට හැකියාව ලැබී ඇත. වසංගත තත්ත්වය හමුවේ වුවද ක්‍රමානුකූලව වෙළඳපොළ යළි විවෘත වෙමින් පවතින වාතාවරණයක් තුළ මෙරට වාණිජ වාහන සඳහා ඇති ඉල්ලුම ද සැලකිය යුතු අයුරින් ඉහළ යමින් තිබෙන බව පෙනෙන්නට ඇති සත්‍යයකි.

විශේෂයෙන්ම සැහැල්ලු ට්‍රක් රථ වර්ගයේ වාහන සඳහා ඇති ඉල්ලුම සපුරාලනු වස් මෙරට වාහන නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරන්නට සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි.

M&M Ltd. මෝටර් රථ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී, වීජේ නක්‍රා මහතා ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාව කියන්නෙ M&M සමාගමට ඉතා වැදගත් වෙළඳපොළක්. අයිඩියල් සමූහය සමඟ ගොඩනඟා ගත් අපේ හවුල්කාරීත්වය නිසා මෙරටදීම මෙම රථය නිෂ්පාදනය කිරීමේ හැකියාව අපට ලැබුණේ දේශීය සැපයුම්කරුවන්, ශ්‍රම බලකාය වගේම රටේ පාරිසරික පද්ධතියත් සවිබල ගන්වමින්. මෝටර් රථ දේශීයව නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ලංකා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ට අපගේ උපරිම සහයෝගය ලබා දීමටත් මේ නිසා අපට හැකියාව ලැබුණා. Bolero City Pik-up නව රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දීමත් සමඟ මෙම මාදිලියේ අප ලබා තිබූ ප්‍රමුඛස්ථානය තව දුරටත් තහවුරු කරගන්නටත් අපට හැකි වී තිබෙනවා.”

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා ගරු සභාපති, නලින් වෙල්ගම මහතා උත්සව සභාව අමතමින්, “දශකයකටත් වැඩි කාලයක් මුළුල්ලේ අයිඩියල් මෝටර්ස් සහ මහින්ද්‍ර හවුල්කාරීත්වය තුළින් මෙරට පාරිභෝගිකයන් වෙත ඉහළ වටිනාකම් පිරිනමන්නට අප සමත්ව තිබෙනවා. පසුගිය වසර ගණනාවක කාලය පුරා, අපගේ කුඩා පරිමාණ වාණිජ රථ මාදිලි පෙළ මෙරට දේශීය ආර්ථික සංවර්ධනය තුළ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන්නට අපට හැකි වුනා. නව Bolero City Pik-up රථය හඳුන්වාදීම මඟින් ද මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට නව ව්‍යාපාරික අවස්ථා උදා කරගැනීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා. අපගේ පාරිභෝගිකයන් වෙත හොඳම දෙයක් ලබා දීම වෙනුවෙන් අප විශාල ආයෝජනයන් රැසක් සිදු කළා. මෙරට වාහන එකලස් කිරීමේ අංගනයක් ස්ථාපනය කිරීම වගේම දිවයින පුරා විහිදුණු මහින්ද්‍ර අලෙවි ප්‍රදර්ශනාගාර ජාලය හා බලයලත් සේවා නියෝජිත ජාලය ඒ අතරින් ප්‍රධානයි. අප ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව තිබෙන්නේ මෙකී සියලු දේ අතින් අප ගොඩනඟාගත් විශ්වාසය නිසයි.”

හඳුන්වා දෙන Bolero City Pik-Up රථය නිෂ්පාදනය කොට ඇත්තේ ඕනෑම නාගරික මාර්ගයකට සුදුසු ලෙසින් වන අතර වැඩි බරක් ඉතා පහසුවෙන් ගෙන යා හැකි වීම ද මෙහි ඇති විශේෂත්වයකි. විශේෂාංග රැසක් සමඟින් එන මෙම රථය පහසු පැදවීමක් මෙන්ම වැඩි ඉඩකඩ සහිත කාර්ගෝ බඳකින් හා අධි බලැති එන්ජිමකින් ද සමන්විතය. සවිමත් සස්පෙන්ෂන් පද්ධතිය නිසා අසීරු මාර්ගවල වුවත් බරක් පටවා ගෙන අපහසුවකින් තොරව ධාවනය කිරීමේ හැකියාව ඇත.

කැබින් කොටස ද වැඩි දියුණු කොට ඇති අතර සුවපහසු රියදුරු සහයක අසුනක් සහ තවත් විශේෂාංග රැසක් මෙහි ඇතුළත්ය. මේ නිසා නගරාන්තර වාණිජ ප්‍රවාහන කටයුතු වඩාත් සුවපහසුවෙන් ඉටු කරගන්නට නව රථය නිසා අවකාශ සැලසේ. මාස 12ක් දක්වා හෝ 50,000km ක් දක්වා වගකීම් කාලයක් ලබා දෙයි. මීට අමතරව දීර්ඝ කරන ලද මාස 36ක් හෝ 100,000km දක්වා වගකීම් කාලයක්ද අයිඩියල් මෝටර්ස් සමාගම විසින් ලබා දෙයි. මෙහි නඩත්තු වියදම ද ඉතාමත් අවම වූවකි. මේ නිසා පාරිභෝගිකයාට හිතට බරක් නැතිවම වැඩි ලාභයක් ඉපයීමේ අවකාශ සැලසේ.

හඳුන්වා දීමේ මිල රුපියල් 3,075,000 සිට ඉහළට ඇති මෙම රථය ඇති මඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ඉපැයීමේ හැකියාවන් වැඩි කරගැනීමට ඉතා පැහැදිලි ඉඩක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.  

නව Bolero City Pik Up රථයේ සුවිශේෂතා
මහින්ද්‍ර වෙතින් හඳුන්වා දෙන නව Bolero City Pik-Up 2,523cm3, m2Di, සිලින්ඩර් 4, 46.3 kW (63 HP) බලයක් සහිත ඩීසල් එන්ජිම සහ 195 Nm බලයකින් සමන්විතය. 1400 kg ක බරක් පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි මෙම රථය 2640 cm x 1700 cm (8.7 ft x 5.6 ft) ප්‍රමාණයේ කාර්ගෝ බඳකින්ද යුක්තය. දැකුම්කළු ප්‍රධාන ලාම්පු පද්ධතිය, ඉදිරිපස ක්‍රොම් ග්‍රිල්, ඩුවල් ටෝන් උපාංග පැනලය හා සුවපහසු ෆැබ්‍රික් ආසන මෙන්ම දොරවල් ද මෙහි ඇති පෙනුම හා හැඩකාර පෙනුම ඉහළ නැංවීමට හේතු වී ඇත. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා පිවිසෙන්න, www.mahindra.com.lk.