‘දියණිය’ ව්‍යාපෘතිය තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් ඊවා (Eva) ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සනීපාරක්ෂක තුවා සන්නාමය වන ඊවා (Eva) විසින් ශ්‍රී ලාංකික කාන්තාව සවිබල ගැන්වීම ඉලක්ක කර ගනිමින් සිදු කරන ‘දියණිය’ සමාජ සත්කාර මාලාවේ තවත් අදියරක් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගනිමින් පසුගිය දා ක්‍රියාත්මක කරන ලදි.

පාසල් ශිෂ්‍යාවන්ගේ සුබසිද්ධිය අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන මෙම සමාජ සත්කාර ව්‍යාපෘතිය ගරු කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන්නකි.


‘දියණිය’ වැඩසටහනෙහි මූලික අවධානය යොමු වන්නේ සියලුම ශ්‍රී ලාංකික පාසල් ශිෂ්‍යාවන්ට සිය සනීපාරක්ෂක අවශ්‍යතාවයන් පහසුවෙන් සපුරා ගැනීමට හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමටයි. මේ වැඩසටහන යටතේ දිවයින පුරා තෝරා ගත් පාසල් වෙත සනීපාරක්ෂක තුවා අඩංගු අල්මාරි පිරිනැමෙන අතර පසුගියදා දියත් වූ දෙවැනි අදියර යටතේ පාසල් 250කට අල්මාරි පිරිනැමීමට නියමිතය. එසේම සුදුසුකම් ලත් වෘත්තීයමය උපදේශකයින් සහභාගි කරනා ගනිමින් එම ශිෂ්‍යාවන් වෙත කාන්තා/ඔසප් සනීපාරක්ෂාව පිළිබඳව මූලික දැනුම බෙදා දෙන දේශන මාලාවක් පැවැත්වීමට ද Eva සැලසුම් කර ඇත. දිවයින පුරා සියලු පාසල් ශිෂ්‍යාවන් හට සිය සනීපාරක්ෂක අවශ්‍යතාවයන් නොමිලේ ඉටු කරගැනීමට අවස්ථාව සලසන ‘දියණිය’ වැඩසටහනට වසරකට වැඩි කාලයක් සිය දායකත්වය ලබා දුන් Eva ඉදිරියේදී ද එම දායකත්වය අඛණ්ඩව ලබා දීමට සූදානමින් සිටියි.


‘දියණිය’ වැඩසටහන 2022 වසර සඳහා දියත් කරන අවස්ථාවට ගරු කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා, එම අමාත්‍යාංශයේ ගරු ලේකම් කුමාරි ජයසේකර මහත්මිය, ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයේ අධ්‍යක්‍ෂිකා චම්පා උපසේන මහත්මිය, ජාතික කාන්තා කමිටුවේ සභාපතිනි එස්. බී. දිසානායක මහත්මිය, කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්‍ෂ සුරංග ජයලත් මහතා, කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්‍ෂිකා ශාන්ති බගිරාතන් මහත්මිය සහ එම සමාගමේ කළමනාකාරිත්වය ඇතුළු පිරිසක් සහභාගී වූහ.


මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් එහි සංකල්පය නිර්මාණය කළ ගරු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙසේ පැවසීය “ ‘දියණිය’ ව්‍යාපෘතිය පිළිබඳව සංකල්පය නිර්මාණය වන්නේ ශ්‍රී ලංකාව පුරා පාසල් ශිෂ්‍යාවන් හට ඔවුන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා වියදමකින් තොර පහසු ක්‍රමයක් නිර්මාණය කිරීමේ අරමුණෙන්. පසුගිය වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දියත් කළ ‘දියණිය’ වැඩසටහන අඛණ්ඩවම දෙවන වසරටත් ක්‍රියාත්මක කිරීමට හැකි වීම පිළිබඳව විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මම සතුටු වෙනවා. මෙහි පූර්ණ ගෞරවය ඊවා සන්නාමය වෙත හිමි විය යුතුයි. සනීපාරක්‍ෂක අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වීම නිසා අපේ රටේ කිසිම පාසල් ශිෂ්‍යාවකට අධ්‍යාපනය හෝ ජීවිතයේ වෙනත් කිසිඳු වැදගත් අවස්ථාවක් මඟනොහැරිය යුතුයි.”


කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්‍ෂ සුරංග ජයලත් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය “ආයතනයක් වශයෙන් අපි හැමවිටම රැකියා ස්ථානයේ වගේම සමාජය තුළත් කාන්තාව සවිබල ගැන්වීමට සහයෝගය ලබා දී තිබෙනවා. ‘දියණිය’ ව්‍යාපෘතිය අපි දක්වන කැපවීමට තවත් උදාහරණයක්. විශේෂයෙන්ම මේ ව්‍යෘපෘතිය හරහා ග්‍රාමීය ප්‍රදේශවල යොවුන් දැරියන්ගේ ජීවිතවලට සවියක් වීමට අපට හැකි වෙනවා.”


මේ පිළිබඳව අදහස් දක්වමින් කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂිකා ශාන්ති බගිරාදන් මහත්මිය මෙසේ පැවසුවාය “ඊවා දශක ගණනාවක් පුරා මිලියන ගණනක් ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ආදරය හා විශ්වාසය දිනූ සන්නාමයක්. මේ ජනාදරයට ප්‍රධානතම හේතුවක් වන්නේ අපි හැමවිටම සමාජ වගකීම් හා කාන්තාව සවිබල ගැන්වීම වෙනුවෙන් ඉටු කරන දැවැන්ත කාර්යභාරයයි. කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා එක්ව අඛණ්ඩව සිදු කරන මෙම ව්‍යාපෘතිය හරහා කෙටි කාලයක් තුළ දහස් සංඛ්‍යාත පාසල් ශිෂ්‍යාවන්ගේ ජීවිතවල සැබෑ වෙනසක් සිදු කිරීමට අපට හැකි වෙලා තියෙනවා. ‘දියණිය’ වැඩසටහන අඛණ්ඩව වර්ධනය කරමින් ඉදිරියට ගෙන යාමට අපි අපේක්‍ෂා කරනවා.”


පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ආදරය දිනූ ඊවා (Eva) සනීපාරක්ෂක තුවා වෙළඳපොලේ අවිවාදිත ප්‍රමුඛයා වේ. SLS, ISO 9001 හා NMRA සහතිකකරණය ලැබ, ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය වන Eva නිෂ්පාදන අති නවීන පර්යේෂණාත්මක හා තාක්‍ෂණික ක්‍රමෝපාය ඔස්සේ නිරන්තරයෙන් වැඩිදියුණු කරයි.