ෆිසියෝ මෙඩිකෙයා ආයතනය සිය දසවන සංවත්සර සමරයි

ෆිසියෝ මෙඩිකෙයා ආයතනය දෙහිවල හා කොළඹ අවට ප්‍රදේශයේ ජනතාවට වසර දහයක් පුරා තම සේවාව ලබාදුන් බව මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි. මෙම ආයතනය බාහිර රෝගීන් වෙනුවෙන් භෞත චිකිත්සක ප්‍රතිකාර සපයනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ආයතනයකි.


ෆිසියෝ මෙඩිකෙයා ආයතනය සිය දසවන සංවත්සර සැමරුම 2022 ජනවාරි 30 වන ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී අති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.


ෆිසියෝ මෙඩිකෙයා ආයතනය ක්‍රීඩා අනතුරු මෙන්ම වෙනත් අනතුරු හා ආබාධ සඳහා පුනරුත්ථාපන ප්‍රතිකාර ක්‍රම මෙන්ම විවිධ භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම ලබා දීමට විශේෂිත වූ ආයතනයකි. 2012 වසරේ දී ආරම්භ වූ මෙම ආයතනය දස වසරක් පුරා ඉතා උසස් තත්ත්වයෙන් තම සේවාලාභීන්ට සේවය සැපයූ ආයතනයකි. තම සේවාලාභීන් සඳහා පරිපූර්ණ සේවාවක් ලබාදීමේ අරමුණ පෙරදැරිව ඇරඹි මෙම ආයතනය අංගසම්පූර්ණ නවීනතම උපකරණ වලින් හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කාර්යය මණ්ඩලයකින් සමන්විත ය.


මෙම සංවත්සරික සැමරුමේදී ෆිසියෝ මෙඩිකෙයා ආයතනයේ නිර්මාතෘ නිලක්ෂි කාසිලිංගම් මහත්මිය ඇතුළු කාර්යමණ්ඩලයේ සේවය ඇගයීමට ලක්විය.


නිලක්ෂි කාසිලිංගම් මහත්මිය භෞත චිකිත්සාව සම්බන්ධ සිය ප්‍රථම උපාධිය ඉන්දියාවේ බැංගලෝර් නුවර රජීව් ගාන්ධි විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තාය. අතුරුව ඇය මාස හයක කාලයක් බැංගලෝර් නුවර පරිවාස සේවා කාලයක් ද සම්පූර්ණ කළාය. විවිධ ආයතන , රෝහල් , විදේශීය ආයතන හා රාජ්‍ය නොවන ආයතන රැසක සේවයෙන් ලද අත්දැකීම් මත ඇය පසුකාලීනව ෆිසියෝ මෙඩිකෙයා නමින් තමාගේම ආයතනයක් ඇරඹුවාය. තම ආයතනය දස වසරක කාලයක් තුළ මෙතරම් සාර්ථකත්වයක් කරා රැගෙන ඒමට ඇයගේ මෙම වසර 14ක වෘත්තීයමය අත්දැකීම් මනා පිටුවහලක් වූ බව කාසිලිංගම් මහත්මිය ප්‍රකාශ කළාය.


කොළඹ විශ්වවිද්‍යාලයේ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞත චිකිත්සක උපාධි පාඨමාලා ඇරඹීම සඳහා සිය දායකත්වය නොමසුරුව ලබා දුන් ඇය එම විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරියක් ලෙස ද තම සේවය ලබා දුන්නාය. ඊට අමතරව ඇය පුවත්පත් ලිපි සපයමින්, රූපවාහිනී වැඩසටහන් සඳහා සහභාගී වෙමින්, පුහුණු වැඩසටහන් සංවිධානය කරමින් භෞත චිකිත්සාවේ ඇති වැදගත්කම පිළිබඳව මහජනයා දැනුවත් කිරීමට කටයුතු කළාය.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ද ඇය මාර්ගගත ක්‍රමය ඔස්සේ නොයෙක් වීඩියෝ පට මගින් ජනතාව මේ පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටී. නිලක්ෂි කාසිලිංගම් මහත්මිය පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති යුද සමය අවසානයේ විදේශීය කණ්ඩායම් සමග උතුරේ පුනරුත්ථාපන කඳවුරු ද වෙත ගොස් භෞත චිකිත්සක කටයුතු වල නිරත වූ ශ්‍රී ලාංකික භෞත චිකිත්සකවරුන් කිහිප දෙනා අතරින් කෙනෙකි.