සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම ත්‍රී රෝද රථ රියදුරන් වෙනුවෙන් රක්ෂණ විසඳුම් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම සිය ආයතනික වටිනාකම් අනුව යමින් දිවයින පුරා විසිරී සිටින ත්‍රී රෝද රථ රියදුරන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තම රක්ෂණ විසඳුම් නවමු මුහුනුවරකින් හඳුන්වාදීම ආරම්භ කර තිබේ.

කොල්ලුපිටිය හා බම්බලපිටිය ත්‍රී රෝද රථ හිමියන්ගේ සංගමය හා එක්ව ආරම්භ කරන ලද මෙම වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. මෙහිදී ත්‍රී රෝද රථ සඳහා හඳුනාගැනීමේ ස්ටිකර් ලබාදීම සිදු වූ අතර ත්‍රී රෝද රථ රියදුරන් වෙනුවෙන් ජීවිත රක්ෂණ ලබාදීම ද සිදුවිණි.

මෙලෙස ලබාගත් ජීවිත රක්ෂණ ඔප්පු සඳහා වූ හිමිකම් ප්‍රධානය කිරීමේ අවස්ථාවක් පසුගිය දිනක කොල්ලුපිටිය පොලිස් ස්ථානයේදී සිදුකෙරුණු අතර එහිදී අදහස් දක්වමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනික ව්‍යාපාර අංශ ප්‍රධානී අනුර ජයසිංහ මහතා “පසුගිය වසරේ අප මෙම වැඩසටහන ආරම්භ කලේ දිවයිනේ සිටින සෑම ත්‍රී රෝද රථ රියදුරෙකුම ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන්. අද වෙනකොට අපට ත්‍රී රෝද රථ හිමියන් විශාල සංඛ්‍යාවක් ආවරණය කිරීමට හැකි වෙලා තිබෙනවා. මෙවන් වැඩසටහනක් දියත් කිරීම පිළිබඳව මට තිබෙන්නේ ආඩම්බරයක්” අදහස් දක්වන ලදි.

කොල්ලුපිටිය ත්‍රී රෝද රථ සංගමයේ සාමාජිකයෙකු වෙනුවෙන් අදාල හිමිකම් ගෙවීම සිදුවූ අතර කොල්ලුපිටිය ත්‍රී රෝද රථ සංගම්වල සභාපති, කොල්ලුපිටිය පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.