කොන්ටිනෙන්ටල් සිය 150 වැනි සංවත්සරය සමරයි

සිය 150 වැනි සංවත්සරය සනිටුහන් කළ ලෝ ප්‍රකට කොන්ටිනෙන්ටල් සන්නාමයේ ශ්‍රී ලාංකේය නිල බෙදා හරින්නා ලෙස සී/ස ඩග්ලස් ඇන්ඩ් සන්ස් පුද්ගලික සමාගම (DSL) ඊට සමගාමීව එය සමරන ලදී. DSL යනු රථ වාහන අමතර කොටස්, ටයර්, බැටරි, කෘෂිකාර්මික උපකරණ සහ කාර්මික අමතර කොටස් ගෙන්වා බෙදාහැරීමේ මෙරට පුරෝගාමියකු සේම, කොන්ටිනෙන්ටල් සමාගම ලොව සිව්වන විශාලතම ටයර් නිෂ්පාදකයා සහ ලොව විශාලතම රථවාහන තාක්ෂණ සැපයුම්කරුවකුද වේ.

1871 වසරේදී ජර්මනියේ ටයර් සහ රබර් ආශ්‍රිත සරල භාණ්ඩ නිෂ්පාදකයකු ලෙස ඇරඹි කොන්ටිනෙන්ටල් සමාගම අද වන විට ජාත්‍යන්තර තාක්ෂණික සමාගමක් බවට පත්ව ඇත්තේ වත්මන් සංචාරක අවශ්‍යතා සඳහා ආරක්ෂිත,කාර්යක්ෂම හා සබුද්ධික විසඳුම් දැරිය හැකි මිලකට ජනතාව වෙත ලබා දෙමිනි. වර්තමානයේ ලොව පුරා භාවිත කරනු ලබන රථ වාහන හතරෙන් තුනක්ම භාවිත කරනු ලබන්නේ කොන්ටිනෙන්ටල් ටයර් හෝ රථවාහන තාක්ෂණයන් වීම කොන්ටිනෙන්ටල්හි විශිෂ්ටත්වයට කදිම උදාහරණයක් වේ. ලොව පුරා බිලියනයක පමණ පාරිභෝගිකයන් පිරිසක් කොන්ටිනෙන්ටල් සේවාවන් භාවිත කරනු ලබන බවට ගණන් බලා තිබීම තුළින් එහි විශිෂ්ටත්වය තව දුරටත් තහවුරු වනු ඇත.

මෙම සුවිශේෂී සංධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් සී/ස ඩග්ලස් ඇන්ඩ් සන්ස් පුද්ගලික සමාගමේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ සරෝජ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ “දශක 15ක කාලයක් පුරා ගෝලීය වශයෙන් සිය මෙහෙයුම් සාර්ථක කර ගැනීම පිළිබඳව කොන්ටිනෙන්ටල් සමාගමට අපගේ හෘදයාංගම සුභ පැතුම් එක් කිරීමට කැමතියි. විශේෂයෙන් දැරිය හැකි මිලකට මෙන්ම පරිසර හිතකාමී හා ආරක්ෂාකාරී ප්‍රවාහන විසඳුම් ලබා දෙන කොන්ටිනෙන්ටල් සමාගම ශ්‍රී ලංකාව තුළද බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇති බව රහසක් නොවෙයි. 150 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ කොන්ටිනෙන්ටල් සමාගම තවත් වසර ගණනාවක් සාර්ථකවයෙන් සාර්ථකත්වයට පත් වේවායි අපි ප්‍රාර්ථනා කර සිටිනවා”යනුවෙනි.

මෙරට භාවිත කරනු ලබන රථ වාහන සඳහා ආදේශකයන් ලෙස යුරෝපීය නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා DSL මෙහෙයුම් දියත් කරන අතරතුර 2014 වසරේදී කොන්ටිනෙන්ටල් සමාගම DSL සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී. කොන්ටිනෙන්ටල් එම යුරෝපීය රථ වාහන සඳහා වන නියම උපකරණ නිෂ්පාදකයකු ලෙසද පෙන්වා දිය හැකිය.

1986 වසරේදී ආරම්භ කරනු ලැබූ සී/ස ඩග්ලස් ඇන්ඩ් සන්ස් පුද්ගලික සමාගම, ඔවුන් නියැලී සිටින වෙළෙඳපොල තත්වයන් ඉදිරියට ගෙන යාම සඳහා නවෝත්පාදන නිෂ්පාදන කෙරෙහි දක්වන වැඩි උනන්දුව තුළින් ශක්තිමත් හා විවිධත්වයෙන් යුත් සමාගමක් බවට පත්ව ඇත. එහි සාර්ථකත්වයෙහි පදනම බවට පත්ව ඇත්තේ ඔවුන් සතු විවිධත්වය හා සියළු ප්‍රධාන අංශයන් නියෝජනය කරන පාර්ශවකරුවන් සමඟ සමීපව සබඳතා පවත්වාගෙන යාමයි. ගෝලීය වශයෙන් පිළිගනු ලැබූ ප්‍රමුඛ ගෝලීය සමාගම්හි ජාත්‍යන්තරව පිළිගත් රථවාහන අමතර කොටස්, ටයර් සහ බැටරි ප්‍රදර්ශනය හා අලෙවිය එහි දිවයින පුරා විහිදුණ නියෝජිත ජාලය හරහා සිදු කරනු ලබයි.

1871 වසරේදී පිහිටුවනු ලැබූ කොන්ටිනෙන්ටල් සමාගම මගී කාර්, වාණිජ වාහන හා යතුරු පැදි සඳහා ටයර් නිෂ්පාදනය කරනු ලබන බහුජාතික සමාගමකි. විවිධ තත්වයන් හා වාතාවරණයන් සඳහා ගැළපෙන නිෂ්පාදන රැසක් සමඟ ටයර් තාක්ෂණයේ හා නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන කොන්ටිනෙන්ටල් සමාගම පර්යේෂණයන් හා සංවර්ධනයන් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීම තුළින් සුරක්ෂිතතාව, ලාභය හා පරිසර හිතකාමී බව වෙනුවෙන් සුවිසල් දායකත්වයක් දක්වනු ලබයි.