වෘත්තීය සංවිධාන සමූහයක් විසින් ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩ නැංවිය හැකි ආකාර පිළිබඳ පෙන්වා දෙයි

වසර 70කට වැඩි කාලයක් තුළ මතු වූ දරුණුතම සමාජ-ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටියි. මෙම අර්බුධය පෙර නොවූ විරූ අයුරින් දරුණුතම සංධිස්ථානයකට පැමිණ ඇති අතර, මෙහි තත්ත්වය ඇතිවීම පිටුපස ඇති ප්‍රධාන හේතුව ලෙස වැරදි කළමනාකරණය එසේත් නොමැති නම් සම්පත් අවපාලනය ලෙස හඳුන්වා දිය හැකිය. මෙම තත්ත්වය වර්තමානයේ පවතින උග්‍ර ස්ථානයට ගමන් කිරීම සඳහා ඇතැම් සාර්ව ආර්ථික සාධකයන් බලපෑම් ඇති කළ අතර, කොවිඩ්-19 වසංගත තත්ත්වයේ පැතිරීම ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගනී.


ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය (COYLE) සහ දෙහිවල එක්සත් වෙළද හා කර්මාන්ත සංගමය, මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, නුගේගොඩ ව්‍යවසායකයින්ගේ සහ වෘත්තීයවේදීන්ගේ සන්ධානය, මිනුවන්ගොඩ වෙළෙඳ සංගමය, ලංකා බ්ස්නස් රින්, නාවලපිටිය වෙළෙඳ සංගමය, ලාංකික ව්‍යවසායකයෝ, සීමාසහිත මහනුවර සිංහල වෙළඳ පෙරමුණ, කිරිබත්ගොඩ සිංහල වෙළඳ සංගමය, ගාල්ල දිස්ත්‍රික්කයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, ශ්‍රි ලංකා උත්සව සංවිධායකයින්ගේ සංගමය, ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය, කුරුණෑගල සිංහල වෙළඳ පෙරමුණ, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, භාණ්ඩ නිෂ්කාශන සහ ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය, බහාලුම් ප්‍රවාහන සංගමය ඇතුළු, COYLE විසින් නායකත්වය ලබාදෙන වෘත්තීය සංවිධාන සමූහයක් විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී, වර්තමාන ආර්ථික අර්බුධයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා කරුණු 10කින් යුත් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කර ඇත. එම කරුණු 10 පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහතින් දක්වා ඇත.


පළමු කරුණ නම්, කඩිනම් දේශපාලන හා පරිපාලන ස්ථාවරත්වයක අවශ්‍යතාවයයි. මින් අදහස් වන්නේ විධායක ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අඩු කිරීම මෙන්ම කැබිනට් මණ්ඩලය ඇතුලු අනෙකුත් ප්‍රධාන තනතුරු සඳහා අදාළ විශේෂඥතාව සහ පළපුරුද්ද ඇති වෘත්තිකයන් පත්කිරීමයි. දෙවන කරුණ නම්, ජනතාව මුහුණ දෙන ක්ෂණික මූල්‍ය හා අත්‍යාවශ්‍ය භාණ්ඩ අර්බුදයට පිළියම් යොදන අතරම විදේශ මුදල් රටට ගෙන එන ක්‍රියාකාරකම්වල නියැලෙන මෙහෙයුම්කරුවන්ට සහාය වීමයි. තෙවන කරුණ නම්, ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ සම්බන්ධ වීමෙන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ මිත්‍ර රටවල් සමඟ සම්බන්ධ වීමෙන් දිගුකාලීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා “Sri Lanka First” උපාය මාර්ගය අනුගමනය කිරීමයි. සිව්වන කරුණ නම්, රජයේ වියදම් අවම කිරීම සහ රජය සතු ආයතන කාර්යක්ෂම සහ ස්වයංපෝෂිත කිරීමයි. මෙයින් අදහස් කරන්නේ කාර්ය සාධනය සහ ඵලදායීතාවය කෙරෙහි අවධානය යොමු කිරීමයි. පස්වන කරුණ වන්නේ දේශපාලන ව්‍යූහයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කර යහපාලනය ගෙන ඒමයි.


හයවන කරුණ වන්නේ, අපනයන මූලික කරගත් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හරහා කාර්මීකරණය වැඩිදියුණු කිරීමයි. මින් අදහස් වනුයේ සෘජු විදේශ ආයෝජන (FDIs) දිරිමත් කරන ව්‍යුහයක් ගෙන ඒම සමඟම ඇතැම් මූල්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමයි. හත්වැනි කරුණ වන්නේ සාම්ප්‍රදායික හා නවෝත්පාදන මත පදනම් වූ කර්මාන්ත සවිබල ගැන්වීමේ ප්‍රතිපත්ති නැවත අර්ථ දැක්වීමයි. මෙයින් අදහස් කරන්නේ කෘතිම බුද්ධිය (AI) වැනි නව තාක්ෂණයන් ප්‍රවර්ධනය කිරීම සහ කෘෂිකර්මාන්තය වැනි කර්මාන්තයන්හි කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම සඳහා එම තාක්ෂණයන් භාවිත කිරීමයි. අට වැනි කරුණ හරහා, නිදහස් වෙළඳ ගිවිසුම් (FTAs) හරහා ඍජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජිත ගෝලීය ව්‍යාපෘතියක් ප්‍රවර්ධනය කරයි. නවවැනි කරුණ වන්නේ වගවීම සහතික කිරීම සඳහා මහජනතාව ඇතුළු ජාතියේ සියලුම පාර්ශ්වකරුවන් සමඟ ඵලදායී සන්නිවේදනයේ සහ විනිවිදභාවයේ අවශ්‍යතාවයයි. මෙයින් අදහස් කරන්නේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය අංශය විසින් සිදුකරනු ලබන සියලුම ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් නිරීක්ෂණය කර සහ පවත්වාගෙන යන රාමුවක් අනුගමනය කිරීමයි. දසවන කරුණ වන්නේ Port City මත පදනම් වූ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගන්නා මුලපිරීමක් දියත් කිරීමයි. මෙය අපනයනකරුවන්ට සහාය වේ.


මෙම කරුණු දහය, අදාළ බලධාරීන් විසින් කඩිනමින් ක්‍රියාත්මක කළහොත්, ශ්‍රී ලංකා ආර්ථිකය දැනට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුධයෙන් මිදීමටත්, දේශයක් ලෙස නැවතත් ලොව අන් රටවල් ඉදිරියේ සිය ශක්තිය පෙන්වීමටත් හැකිවන බවත් මෙම වෘත්තීය සංවිධාන විශ්වාස කරයි.