දිනිති රත්නායක SDB බැංකුවේ නව සභාපතිනිය වශයෙන් තේරී පත් වෙයි

SDB බැංකුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් අබේසේකර මහතා සිය ධූර කාලය අවසන් කිරීමෙන් පසුව පසුගිය අප්‍රේල් 29 වැනි දින සිට ක්‍රියාත්මක පරිදි SDB බැංකුවේ නව සභාපතිවරිය වශයෙන් දිනිති රත්නායක මෙනෙවිය පත් කෙරී ඇත. බැංකුවේ ඉතිහාසයේ ඉතා අභියෝගාත්මකම වසර කිහිපයක් සාර්ථකව පසු කිරීමට මහෝපකාරී වූ ලක්ෂ්මන් අබේසේකර මහතාගේ නායකත්වය හා මාර්ගෝපදේශනය වෙනුවෙන් බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය හා කළමනාකාරීත්වය සිය ස්තූතිය හා කෘතවේදීත්වය ඒ මහතා හට පළ කර සිටී.


දිනිති රත්නායක මෙනෙවිය SDB බැංකුවේ නායකත්වය භාරගනු ලබන්නේ ශ්‍රී ලංකාව තුළ ඉතා අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් නිර්මාණය වී ඇති පරිසරයකය. බැංකු ක්ෂේත්‍රයේ වසර 25 කට වඩා අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදිනියක වශයෙන් ඇය සතු පුළුල් දැනුම හා ප්‍රවීණත්වය මේ වගකීම සපුරාලීමෙහි ලා ඇයට සවියක් වනු ඇත. විශේෂයෙන්ම ණය, ණය ප්‍රාග්ධන වෙළඳපොළ, අවදානම් හා අනුකූලතා පිළිවෙත් වැනි විෂයන්හි ඇගේ ප්‍රවීණත්වය මෙහි සඳහන් කළ යුතුය. දිනිති රත්නායක මෙනෙවිය ශ්‍රී ලංකාවේ සිටිබෑන්ක් (Citibank N.A.) හි අධ්‍යක්ෂක හා මූල්‍ය ආයතන ප්‍රධානී වශයෙන් කටයුතු කළ අතර ANZ Grindlays Bank PLC හි පාරිභෝගික හා ආයතනික බැංකුකරණය මෙහෙයවමින් ලබා ඇති අත්දැකීම් ඇයගේ වෘත්තීය ප්‍රවීණත්වයට හා දැනුමට විශාල ගැඹුරක් එක් කර ඇත. 2020 වසරේ පෙබරවාරි මාසයේදී දිනිති රත්නායක මෙනෙවිය SBI Emerging Asia Financial Sector Fund PTE LTD හා Nederlandse Finacnierings – Maatschappij Voor Ontwikkelingslanden N.V. නියෝජනය කරන අධ්‍යක්ෂක වශයෙන් SDB බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට තේරී පත් වූවාය.


SDB බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන, ඉතා පුළුල් පරාසයකට අයත් වැදගත් වෘත්තිකයින් හා ව්‍යාපාර නායකයින් පිරිසකගෙන් සමන්විත වන අතර ඊට මහාචාර්ය සම්පත් අමරතුංග, ප්‍රභාෂ් සුබසිංහ, එස්. ලයනල් තිලකරත්න, චාමින්ද කුමාරසිරි, හිරාන් ප්‍රසන්න ප්‍රේමරත්න, අභයවික්‍රම බණ්ඩාර, ජේ.ඒ. ලලිත් ජී. ජයසිංහ, තුශාන්ත විජේමාන්න, එස්.එච්. සරත් නන්දසිරි, කොන්රැඩ් ඩයස්, නවීන්ද්‍ර පෙරේරා සූරියාරච්චි යන මහත්වරුන් අයත් වේ.


පාරිභෝගිකයින් හට සම්පූර්ණ සේවා පරාසයම සපයන, අනාගතයට සූදානම් බැංකුවක් වශයෙන් SDB බැංකුව, නිරන්තරයෙන් වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවන් පරිපූර්ණ ලෙස සපුරාලීමට කැපවීමෙන් කටයුතු කරයි. අගය දාමයන් වර්ධනය හා මූල්‍ය කළමනාකරණය වැනි කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කරන මඟපෙන්වීම් සහ උපදේශනයන්, මූල්‍ය සහයෝගය සමඟ මුසු කරන ලද ප්‍රවේශයක් හරහා පාරිභෝගිකයින්ගේ ජීවිත සහ ව්‍යාපාරවලට සවියක් වීමට SDB බැංකුව කටයුතු කරනු ලබයි. එමෙන්ම SDB බැංකුව පාරිසරික, සමාජයීය හා පාලන තිරසාරත්වය වෙනුවෙන් කැපවුණු ව්‍යාපාර ප්‍රවේශයක් අනුගමනය කරන අතර බැංකුව විසින් මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා සහය සැපයීමේදී තිරසාර ප්‍රවේශයක් ඇති ව්‍යාපාර හා වැඩසටහන් වෙත වැඩි අවධානයක් යොමු කීරීම ද බැංකුවෙහිම තිරසාර ව්‍යාපාර ප්‍රවේශය පිළිබිඹු කරන්නකි. මෙලෙස පැහැදිලි දැක්මක් ඇතිව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසකයින්ට සහය වීම, කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය හා මහජනතාව අතරට ඩිජිටල් බැංකුකරණයේ ප්‍රතිලාභ ගෙනයාම කෙරෙහි දක්වන කැපවීම SDB බැංකුව, ශ්‍රී ලාංකික සමාජයේ සෑම සාමාජිකයෙක්ටම සමානව සළකන, වටිනාකම වෙනුවට හැකියාව හා විභවතාවය මත පදනම්ව ඔවුන්ව අගය කරන බැංකුවක් වශයෙන් කීර්තියක් අත්කර ගැනීමට හේතු වී ඇත.