2022 වසරේදී ශ්‍රී ලංකාවේ හොඳම .lk වෙබ් අඩවිය ලෙස alupenters.lk වෙබ් අඩවිය ඉහළම ගෞරවය දිනා ගනියි

ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන් සහ ඔවුන්ගේ සේවාවන් අපේක්‍ෂා කරන දිවයින පුරා විසිරුණු පාරිභෝගිකයින් එකිනෙකා හා ඍජුව සම්බන්ධ කරන මෙරට එකම ඩිජිටල් වේදිකාව වන alupenters.lk වෙබ් අඩවිය පසුගිය දා පැවැති LK Domain Registry විසින් සංවිධානය කරන ‘Best Web Awards 2022’ සම්මාන උළෙලේදී ඉහළම ඇගයීමට පාත්‍ර විය. එහිදී alupenters.lk වෙබ් අඩවිය විසින් අලෙවි හා දැන්වීම්කරණ අංශයේ රන් සම්මානය දිනා ගත් අතර අංශ 12ක සියලු රන් සම්මානලාභීන් අතරින් හොඳම වෙබ් අඩවිය ලෙස ‘Overall Gold Award’ සම්මානය දිනාගැනීම ද කැපී පෙණුනි.


මෑතකාලීනව ඇලුමිනියම් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා නිර්මාණය වූ නව වෙළෙඳපොල අවකාශයට විවෘත වෙමින් වෘත්තියමය ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන් හා ඔවුන්ගේ සේවාලාභීන් එකට මුසු වන ඩිජිටල් සේවාවක් සැපයීම alupenters.lk හි ආරම්භක අරමුණ වූ අතර වර්තමානය වන විට ඒ හරහා දොරවල්, ජනෙල්, පාටිෂන්, ෂොප් ෆ්‍රන්ට්ස්, ලූවර්ස්, නානකාමර, වහලවල්, ටයිල් ස්කර්ටින්, ඉනිමං, රාක්ක, ඇඳුම් අල්මාරි, පැන්ට්‍රි කබඩ් ආදී ඇලුමිනියම් නිෂ්පාදන ආශ්‍රිත සේවා සපයන ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන් 800කට වැඩි පිරිසක් දිවයින පුරා විසිරුණු පාරිභෝගිකයන් දහස් ගණනක් සමඟ සම්බන්ධ වී සිටී.


විශේෂයෙන්ම ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන් සම්බන්ධයෙන් ගත් කල ඔවුන් හට පාරිභෝගිකයන් හා සම්බන්ධ වීමට අමතරව සිය සේවාවන් හා ව්‍යාපාර වෙත වඩාත් වෘත්තීය මුහුණුවරක් ලබාදීමට හැකි වීම alupenters.lk වෙබ් අඩවිය හරහා සිදු වන වැදගත් සේවයකි. පිරිසැකසුම් ශිල්පීන් හට සිය සේවාවන් සවිස්තරාත්මකව, ආකර්ෂණීය අයුරෙන් පෙළගස්වා සිය ව්‍යාපාරය වෙනුවෙන් අන්තර්ජාලය තුළ ප්‍රදර්ශනාගාරයක් පවත්වාගැනීමට වෙබ් අඩවිය හරහා හැකියාව ලැබෙන අතර ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය හරහා ඔවුන්ට නිරන්තරයෙන්ම සිය සේවාවන් ඉහළ ගුණාත්මක බවකින් පවත්වාගෙන යාමටත් පාරිභෝගික තෘප්තිය පිළිබඳව සැළකිලිමත් වීමටත් පෙළඹවීමක් ඇති කරයි.


LK Domain Registry විසින් 12 වන වරට පවත්වන ලද මෙම වෙබ් සම්මාන උළෙලට සුදුසුකම් සහිත සියලුම දේශීය වෙබ් අඩවි “.lk Websites” ඉදිරිපත් වන නිසා මෙම උළෙලේදී සම්මානයට පාත්‍ර වන සියලුම වෙබ් අඩවිවලට ඉහළ පිළිගැනීමක් නිරායාසයෙන්ම හිමි වේ. ඉහළම ස්ථරයේ සිටින විෂය ප්‍රවීණ වෘත්තිකයන්ගෙන් සමන්විත කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින්, විධිමත්ව සම්පාදනය කරන ලද නිර්ණායක යටතේ තෝරාගැනීම් සිදු කරන ලද අතර තාක්‍ෂණික තත්ත්වය, සැලසුම්කරණය, අන්තර්ගතය, පෞද්ගලිකත්වය සහ ආරක්‍ෂණය, අන්තර්ක්‍රියා සහ ජංගම යෙදවුම් තුළ ක්‍රියාකාරිත්වය යන අංශ කෙරෙහි මෙහිදී විශේෂයෙන් සැළකිලිමත් වී ඇත.


වෙබ් සම්මාන උළෙලේදී දැන්වීම්කරණ සහ අලෙවිකරණ කාණ්ඩයේ රන් සම්මානය දිනා ගත් alupenters.lk වෙබ් අඩවිය සම්මාන උළෙලේ තරඟ අංශ සියල්ලෙන්ම වැඩිම ලකුණුලාභීන් අතර මුල් තැන ගනිමින් ‘Overall Gold Award Winners’ සම්මානය ද දිනා ගන්නා ලදි.
පසුගිය දශකයේදී ඇලුමිනියම් නිෂ්පාදන සේවා සඳහා රට පුරා ඇති වූ ඉහළ ඉල්ලුමත් සමඟින් ඇලුමිනියම් වෙළෙඳපොලේ පාරිභෝගිකත්වය අතිවිශාල අගයකින් වර්ධනය වෙමින් පවතියි. මෙම වර්ධනය අනාගතයේදී ද අඛණ්ඩව සිදු වීම නිසා වෙළෙඳපොල අවකාශය ද වේගයෙන් පුළුල් වන අතර ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන් සහ පාරිභෝගිකයන් අතර සම්බන්ධතාවය ගොඩනංවන එකම ඩිජිටල් වේදිකාව වන alupenters.lk වෙබ් අඩවිය ද ඊට සමගාමීව වඩාත් සංවර්ධනය වනු ඇත. පරිශීලකයින්ට සෑම අංශයකින්ම හොඳම අත්දැකීමක් ලබා දීම සඳහා අඛණ්ඩවම වෙබ් අඩවිය වැඩිදියුණු කරමින් පවත්වාගෙන යාමට alupenters.lk කළමනාකාරිත්වය කැප වී කටයුතු කරන අතර එය ඇලුමිනියම් කර්මාන්තයේ ප්‍රගමනයට විශාල රුකුලක් වනු ඇත.


සිය ප්‍රදේශයේ හොඳම ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන් හඳුනාගෙන ඔවුන්ගේ සේවා ලබා ගැනීමට උනන්දුවක් දක්වන ජනතාවට මෙන්ම මෙම සුවිශේෂී වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට අපේක්‍ෂා කරන ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන්ට ද alupenters.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගත හැකිය.