සණස ව්‍යාපාරයේ නිර්මාතෘ තම 81 වැනි ජන්ම දිනය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රජාමූල බහුජන සංවිධානය වන සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පසුගිය දිනක සිය 81 වැනි ජන්ම දිනය සමරන ලදි.


සමූපකාර හා මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිය දැනුම හා පළපුරුද්ද මෙහෙයවූ කිරිවන්දෙණිය මහතා විවිධ දේශීය හා අන්තර්ජාතික ආයතන රැසක තනතුරු හොබවා තිබේ. ඒ අතර ජාත්‍යන්තර සමූපකාර සහ අන්‍යෝන්‍ය රක්‍ෂණ සම්මේලනයේ සභාපති, සභාපති – ආසියානු ණය සමිති සම්මේලනය (ACCU), මහජන බැංකුවේ සභාපති, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව – අධ්‍යක්ෂ, සභාපති ජාතික සමුපකාර කළමනාකරණ ආයතනය සහ සභාපති – ජාතික සමුපකාර සභාව සුවිශේෂී වේ.


1978 එවකට රජය විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් සමඟ ග්‍රාමීය අංශයේ කුඩා සමූපකාර සමිති 935ක් සම්බන්ධ කරගනිමින් සණස ව්‍යාපාරය ආරම්භ කළ ආචාර්ය කිරිවන්දෙණිය මහතා, එතැන් සිට මේ දක්වා ග්‍රාමීය ජනයාගේ ජීවන තත්ත්වය උසස් කිරීමෙහිලා ඉතා විශාල වැඩකොටසක් සිදුකරමින් සිටියි.


ඔහුගේ දැක්ම සහ නායකත්ව ගුණාංගයන් මතින් බිහිවූ ආයතන අතර සණස සංවර්ධන බැංකුව, සකසුරුවම් සහ ණය සමූපකාර සමිති සම්මේලනය, සණස අධ්‍යාපන මණ්ඩපය, සණස රක්ෂණ සමාගම්, සණස ඉංජිනේරු සහ සංවර්ධන සමාගම (SEDCO), සණස පාරිභෝගික නිෂ්පාදක සන්ධානය (SANEEPA) ප්‍රධාන තැනක් ගනී.


ග්‍රාමිය ජන ජීවිතය නගාසිටුවීම උදෙසා කිරිවන්දෙණිය මහතා විසින් හඳුන්වාදුන් නවතම ව්‍යාපෘතිය “වැය අඩු කරමු – අය වැඩි කරමු” නමින් මේ වනවිට ක්‍රියාත්මක වන අතර මේ හරහා තිරසාර පරිභෝජන අවස්ථා හා ව්‍යවසායකත්ව අවස්ථා හඳුන්වාදීම තුලින් ගම්මාන 5000 ක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.


සණස රක්‍ෂණ සමාගමේ සභාපතිතුමා සහ අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී, කළමනාකාරීත්වය, සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඔවුන්ගේ ආරම්භක සභාපතිතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සර්ව ආගමික වතාවත් ඇතුළු ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කර ඇත.