ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට සහය ලබාදීමට“MIKTA” රටවල් සූදානම්

මෙක්සිකෝව, ඉන්දුනීසියාව, කොරියාව, තුර්කිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් වලින් සැදුම්ලත් මික්ටා “MIKTA” සංවිධානය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ බහුපාර්ශවීය හමුවක් කොළඹ, හෝර්ටන් පෙදෙස පිහිටි ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති නිල නිවසේ දී අද (17) පැවැත්විණි.

ලෝකය මුහුණ දෙන මූලික ගැටලු සාකච්ඡා කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටීමට මික්ටා “MIKTA”සංවිධානය පිහිටුවා ගෙන ඇති අතර මෙවර ගෝලීය වශයෙන් මුහුණ දෙන සෞඛ්‍ය තත්ත්වයන් හා එහි ගැටලු පිළිබඳව මේ තුළ සාකච්ඡා කෙරේ.


ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන්ජින් ජියෝං (Santhush Woonjin JEONG) මහතාගේ ආරාධනයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙම අවස්ථාවට එක්ව සිටියේය. ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මූලික අවශ්‍යතා වෙනුවෙන් සහයෝගය ලබා දීමටත්,ඒ වෙනුවෙන් පෙනී සිටීමටත් මේ සඳහා එක් වූ මික්ටා “MIKTA” සංවිධානයේ නියෝජිතවරු එකඟතාවය පළ කළහ.


විශේෂයෙන් කොවිඩ් ව්‍යසනයේදී එම රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි දැක්වූ ඉහළ දායකත්වයට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රසාදය පළ කළ අතර ගෝලීය ව්‍යසනය සාර්ථකව පාලනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එම නියෝජිතයින් ඉහළ ප්‍රසාදය පළ කළහ.


මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා…
ශ්‍රී ලංකාව කොවිඩ් ව්‍යසනයේ ගින්නට ඔරොත්තු දී නැවත නැගී සිටීමේදී මිත්‍රශීලී රටවල් වලින් ලැබුණු සහයෝගය අතිශය වැදගත් බවත් ඒ තුළ ලොව බොහෝ රටවලට වඩා ඉතා ඉක්මනින් කොවිඩ් සතුරා පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවත් පැවසීය.
විශේෂයෙන් මෙවැනි හවුල්කාරී ජාත්‍යන්තරික සංවිධාන හරහා ශ්‍රී ලංකාවට හිමිවුණු සහයෝගය ඒ තුළ අතිශය වැදගත් වූයේ යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය. ඉදිරියටත් ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම අභායෝගයක් හමුවේ මිත්‍රශීලී රටවලින් ලැබෙන සහයෝගය රටෙහි නැගී සිටීමට ඉමහත් පිටුවහලක් වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.