ශ්‍රීලංකන් ගුවන් සේවය නේපාලයේ ව්‍යවසායක සංවිධානය ශ්‍රී ලංකාවට ගෙනෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීමේ සහ වර්ධනය කිරීමේ පියවරක් වශයෙන් නේපාලයේ ව්‍යවසායක සංවිධානය, ව්‍යාපාරික හමුවීම් මාලාවක් වෙනුවෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ගෙනඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත.

ශ්‍රීලංකන්හි වාණිජ මෙහෙයුම් ක්‍රමෝපාය සහ සේවා කළඹ මගින් විවිධ මට්ටමේ සංචාරකයින්ට සේවා සැපයෙන අතර, MICE හෙවත් රැස්වීම්, දිරිදීමනා සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන නැරඹීම වෙනුවෙන් පැමිණෙන සංචාරකයින් ද ඒ අතර ප්‍රධාන තැනක් ගනියි. එහිදී MICE සංචාරකයින්ට අවශ්‍ය සියලුම මූලික සේවා එනම්, ගුවන් ගමන් පහසුකම්, හෝටල් නවාතැන්, මගී අන්තර්මාරු සේවා, රට තුළ අභ්‍යන්තර චාරිකා ආදී බොහෝ සේවා ලබාදීමේ හැකියාව ශ්‍රීලංකන් ගුවන් සේවය සතු ය.

ව්‍යවසායකයින් වෙනුවෙන් නිර්මාණය කෙරුණු ලොව එකම සුහද ව්‍යවසාය ජාලය වන ව්‍යවසායක සංවිධානයේ නේපාල ශාඛාව තුළ විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවලට අයත් ව්‍යවසායකයෝ 100කට ආසන්න පිරිසක් සාමාජිකත්වය දරති. ඔවුහු ව්‍යාපාරික හමුවීම් මාලාවක් වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. එහි පළමු කණ්ඩායම පසුගියදා මෙරටට පැමිණි අතර, Reliance Group Nepal; City Tech; Khangri Sourcing; Mercantile group; ARKS Capital Advisors; සහ Siddhartha Group වැනි නේපාලයේ ප්‍රධාන පෙළේ සමාගම්වල ප්‍රධානීහු, උප සභාපතිවරු, අධ්‍යක්ෂවරු සහ ප්‍රාග්ධන උපදේශකයෝ ඒ අතර වූහ.

නේපාලයේ ව්‍යවසායක සංවිධානය මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ MICE සේවා අපේක්ෂා කිරීමට ප්‍රධාන හේතුව වූයේ ගුවන් සේවයේ පළපුරුද්ද සහ ගමනාන්ත වැඩසටහනක් සාර්ථකව අවසන් කිරීම සඳහා අවැසි සම්පූර්ණ පරාසයක සේවා සැපයීමට ගුවන් සේවය සතු හැකියාව ය. කොළඹ සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සතියකට සෘජු ගුවන් ගමන් වාර පහක් සපයන එකම ගුවන් සමාගම ද ශ්‍රීලංකන් වේ.

මීට අමතරව, ගුවන් සමාගමකට පමණක් ලබා දිය හැකි ප්‍රතිලාභ වශයෙන් සැළකිය හැකි විශේෂ ගුවන් ගමන් ගාස්තු, පිටත්වීමේ ගුවන් තොටුපළේ විශේෂිත කවුන්ටරයක් ඇතුළු ගුවන් තොටුපළ පහසුකම් සැපයීම, කණ්ඩායම් වශයෙන් check-in සේවා සැපයීම, ආසන විකල්ප සහ ගුවන් යානයට පිවිසීමේදී විශේෂ පිළිගැනීමක් ලබාදීම වැනි සුවිශේෂී ප්‍රතිලාභ ඔවුන්ට ලබාදීමට ද ශ්‍රීලංකන් පියවර ගත්තේය. දේශීය සංචාරක වෙළඳ හවුල්කරුවන් සමඟ එක්ව, නේපාල ව්‍යවසාය සංවිධානයේ නියෝජිත පිරිසට ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක අත්දැකීමක් ඇති බව සහතික කිරීම සඳහා එම ගුවන්ගමන්වලදී ශ්‍රීලංකන් තම සියලු අන්තර්මාරු නැවතුම් ඉවත් කිරීමට ද කටයුතු කළේය.

″මම මෑතකදී නේපාල ව්‍යවසායක සංවිධානය සමඟින් කත්මණ්ඩු සිට කොළඹ බලා ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් ගමන් කළා. ගුවන් යානය තුළදී ඔවුන් ලබාදුන් සේවය විශ්මයජනකයි. කොළඹට ළඟා වූ පසුවත්, මට උණුසුම් පිළිගැනීමක් සමඟ සුහද සේවාවක් ලබාදුන් ගුවන්තොටුපොළ කාර්යමණ්ඩලය, ගුවන් තොටුපොළ තුළ මගේ සියලු කටයුතු පහසුවෙන් කරගැනීමට සහාය වුණා. ව්‍යවසාය සංවිධානයේ නේපාල ශාඛාව වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ MICE කණ්ඩායම ලබාදුන් සහායට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවය ඔස්සේ නුදුරේදීම නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණීමට මම බලාපොරොත්තු වෙනවා″, යනුවෙන් Khangri Sourcing සමාගමේ මෙහෙයුම් සහ ව්‍යාපාර සංවර්ධන අංශයේ නේපාල උප සභාපති සේරින්ග් ශර්පා ප්‍රකාශ කළේය.

ඉන්දියනු සාගරයේ ක්‍රමෝපායික පිහිටීමත්, යුරෝපයට, මැදපෙරදිගට, මධ්‍යම ආසියාවට සහ ඈත පෙරදිගට මධ්‍යගතව පිහිටීමත් නිසා ගෝලීය වසංගතයට ප්‍රථම ශ්‍රී ලංකාව, MICE සංචරණය සඳහා ආසියාවේ ජනප්‍රියතම ගමනාන්තයක්ව පැවතුණි. 2019 වසරේ අවසානය වනතුරු ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ අන්තර්ජාතික ඉසව් බහුතරයක ගුවන් සේවා සහකරු සහ MICE සංචරණ සැලසුම්කරු ලෙස ක්‍රියා කළේ ද ශ්‍රීලංකන් ගුවන් සේවය යි. වර්තමානයේදී, සංචාරක කර්මාන්තය නැවතත් පුනර්ජීවනය ලබමින් සිටින මේ මොහොතේ, නිවැරදි දිශාව බලා යමින්, නැවත වරක් ශ්‍රී ලංකාවට ගෝලීය ඉසව් ගෙනඒමට ශ්‍රීලංකන් සිය උපරිමයෙන් ක්‍රියාකරයි.