වෙළෙඳ සේවා ඊ කාණ්ඩයේ ක්‍රිකට් තරඟාවලියට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය 20 වන වරටත් අනුග්‍රහය දක්වයි

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වෙළෙඳ සේවා ඊ කාණ්ඩයේ ක්‍රිකට් තරඟාවලියට 20වන වරටත් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය අනුග්‍රහය දක්වන බව පසුගියදා නිවේදනය කළේය. වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ අනුග්‍රාහකත්වයන් අතර දෙවෙනි පැරණිතම අනුග්‍රාහකත්වය ලෙස මෙය හැඳින්විය හැකිය.


ඒ සම්බන්ධයෙන්වූ අනුග්‍රාහක චෙක්පත ප්‍රදානය කිරීමේ මාධ්‍ය හමුව පසුගියදා වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේදී සිදු පැවැත්වුණු අතර ඒ සඳහා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි අධ්‍යක්ෂිකා රෝමණී පරාක්‍රම, අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නාලක මඩුගල්ලේ, ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් ප්‍රධාන අලෙවි නිළධාරී අජන්ත ප්‍රේමසිරි, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාහන විකුණුම්) ලක්මාල් ද සිල්වා, වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති නලින් වික්‍රමසිංහ, අනුග්‍රාහකත්ව කමිටුවේ සභාපති රොහාන් සෝමවංශ ඇතුලු මහත්ම මහත්මීන් සහභාගී විය.
වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සහ එහි ලීග් තරඟාවලිය මේ වන විට මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ ඉමහත් සේවයක් ඉටු කිරීමට සමත් වී ඇත. පාසලේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව තවදුරටත් එම හැකියාවන් පවත්වාගෙන යාම සඳහා තරුණ ක්‍රීඩකයන්ට මෙම තරඟාවලිය මහඟු අත්වැලක් සපයයි. එසේම ඒ හරහා ආයතනික ක්ෂේත්‍රය තුළ පිළිගත් සමාගමක රැකියා අවස්ථා ලබා ගැනීමටද එමඟින් ඔවුනට අවස්ථාව උදාවේ.


වෙළෙඳ සේවා ක්ෂේත්‍රයේ ක්‍රීඩා ඉහළ නැංවීම සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මෙන්ම ඩේවිඩ් පීරිස් සමූහයේ සේවකයින්ද වෙළෙඳ සේවා ක්‍රීඩාවලට දිරිමත් කර ඇති අතර ඔවුන් කණ්ඩායම් තරඟවලදී මෙන්ම මළල ක්‍රීඩා තරඟවලදී විශිෂ්ඨ හැකියාවන් පෙන්නුම් කර තිබේ.
මේ වන විට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙළෙඳ සේවා ක්‍රිකට්, මළල ක්‍රීඩා, වොලිබෝල්, හොකී, පැසි පන්දු, දැල් පන්දු සහ බැඩ්මින්ටන් යන ක්‍රීඩාවන්හි නියැලේ.


දශක හතරක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය අද වන විට මෙරට විශාලතම සහ මූල්‍යමය වශයෙන් වඩාත්ම ශක්තිමත් සමූහ ව්‍යාපාර අතර එකක් බවට පත් වී ඇත.
ඩේවිඩ් පීරිස් සමූහය වාහන විකුණුම් හා සේවා, මූල්‍ය සේවා, ලොජිස්ටික්ස්, තොරතුරු තාක්ෂණ, දේපළ වෙළෙදාම් සහ දේපළ අයෝජන, රේසිං, විනෝදාත්මක ක්‍රියාකාරකම් සහ කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රයන් නියෝජනය කරන සමාගම් 22කින් සමන්විත වේ.