ශ්‍රීලංකන් ගුවන් සමාගම බෞද්ධ වන්දනා චාරිකා සංවිධායකවරුන් වෙනුවෙන් විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම මෑතකදී බෞද්ධ වන්දනා චාරිකා සංවිධායකවරුන් වෙනුවෙන් විශේෂ සම්මන්ත්‍රණයක් පැවත්වී ය. ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් බෞද්ධ වන්දනාකරුවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති විශේෂ සේවාවන් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම එහි ප්‍රධාන අරමුණ විය. බෞද්ධ වන්දනා චාරිකා යනු ශ්‍රීලංකන් ගුවන් සමාගමට අතිශය වැදගත් වන සංචාරක කාණ්ඩයක් වන අතර, එම වන්දනාකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන සේවාවන් හඳුන්වා දීම සඳහා සමාගම නිරන්තරයෙන් වන්දනා චාරිකා සංවිධායකවරුන් සමග එක්ව කටයුතු කරයි.

විදේශ බෞද්ධ චාරිකා සංවිධායකවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා බෞද්ධ විදේශ වන්දනා චාරිකා සංවිධායකවරුන්ගේ සංගමය ඇතුළුව, බෞද්ධ වන්දනා චාරිකා සංවිධායකවරුන් 100 කට අධික පිරිසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූහ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජාත්‍යන්තර විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් සහ ප්‍රාදේශීය කළමනාකරු (ශ්‍රී ලංකාව සහ ඉන්දියානු සාගරය) ජයන්ත අබේසිංහ යන මහත්වරු මෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සැලසුම් සහ සේවාවන් විස්තර කළහ. ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් පැවැත්වුණු අතර, COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් සෙසු සංචාරක කටයුතු මෙන්ම බෞද්ධ වන්දනා චාරිකා කටයුතුද අඩපණ වූ බැවින්, ඒවා නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ගත යුතු පියවර හඳුනා ගැනීම එහි අරමුණ විය.

එමෙන්ම වන්දනා කණ්ඩායම් සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දීමට සහ, නවක බෞද්ධ වන්දනා සංවිධායකවරුන් වෙනුවෙන් හඳුන්වා දී ඇති පාරිභෝගික ළැදියා වැඩසටහන සඳහා ලියාපදිංචි කිරීම් ආරම්භ කිරීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය මෙහිදී කටයුතු කළේ ය. මීට පෙරද වන්දනා කණ්ඩායම් වෙනුවෙන් බුද්ධගයාව සහ බරණැස වැනි පූජනීය ස්ථාන සඳහා විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම, COVID-19 හේතුවෙන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වූ වන්දනාකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට විධිවිධාන යෙදීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කර තිබේ. මේ වනවිට ශ්‍රීලංකන් ගුවන් ස්‌වය චෙන්නායි සහ දිල්ලි යන නගර හරහා ඉන්දියාවේ පූජනීය බෞද්ධ සිද්ධස්ථාන වෙත සංචාරක සේවාවන් පිරිනමයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.srilankan.com වෙබ් අඩවියෙහි දක්වා තිබේ.