ශ්‍රීලංකන් ගුවන් සේවයේ නවතම සුරක්ෂිතතා වීඩියෝව එළිදක්වයි

ගුවන් යානයකදී අනුගමනය කළ යුතු ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් මගීන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය නිර්මාණය කළ නවතම වීඩියෝව පසුගියදා එළිදක්වන ලදි. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ දර්ශනීය ස්ථාන රාශියක් පසුබිම් කරගෙන එය නිර්මාණය කර තිබීම ය.

ගුවන් සේවා කර්මාන්තය තුළදී ආරක්ෂාව සම්බන්ධයෙන් මගීන් නිසි පරිදි දැනුවත් කිරීම අනිවාර්ය වේ. එමගින් හදිසි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මගීන්ට පැහැදිලි අවබෝධයක් ලැබේ. සාමාන්‍යයෙන් මගීන් ප්‍රවාහනයට යොදාගන්නා ගුවන් යානාවල නිතිපතා මෙම මෙබඳු වීඩියෝ ප්‍රදර්ශනය කරනු ලබයි. ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව වීඩියෝවද මෙම අරමුණ වෙනුවෙන් නිර්මාණය වූවකි. එහි විශේෂත්වය වන්නේ, ආරක්ෂාව සම්බන්ධයෙන් මගීන් දැනුවත් කරන අතරම, ඔවුන්ට ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ විශිෂ්ට හා සුහදශීලී පාරිභෝගික සේවාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබෙන ආකාරයට එය නිර්මාණය කර තිබීම ය.


“අපගේ නවතම සුරක්ෂිතතා වීඩියෝව මෙලෙස එළිදැක්වීමට හැකි වීම මහත් සතුටක්. මෙය අප විසින් ප්‍රථම වරට ‘Global Sales Conference’ වැඩසටහනට සහභාගී වූ ජාත්‍යන්තර සංචාරක සේවා නියෝජිතයන් 200 කට අධික පිරිසකට ප්‍රදර්ශනය කරනු ලැබුවා. මීට පෙර අප ගුවන් යානා තුළ ප්‍රදර්ශනය කළේ දශකයකට පමණ පෙර නිර්මාණය වූ වීඩියෝවක්. නව වීඩියෝව එළිදැක්වීමත් සමග දැන් මගීන්ට ශ්‍රී ලංකාව දෙස අලුත් දෘෂ්ටි කෝණයකින් බැලීමට හැකියාව ලැබේවි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටාල් මහතා පැවසී ය.

මේ ආකාරයට ගුවන් යානා තුළදී ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් වන අතරම, ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්ය විචිත්‍රවත් ලෙස දැකබලාගැනීමට හැකි වීම මගීන්ට සුවිශේෂී අත්දැකීමක් වනු නිසැක ය.

මෙම කාර්යය සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාරුණික සහයෝගයද හිමි වූ අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් ලොව පිළිගත් තොරතුරු වඩාත් නිවැරදි ලෙස වීඩියෝවට ඇතුළත් කිරීම සඳහා එම අධිකාරිය වෙතින් ලැබුණු අදහස් හා යෝජනා බෙහෙවින් වැදගත් විය. මෙම වීඩියෝවේ Inflight Entertainment system (IFE) සංස්කරණයට සිංහල හා දෙමළ උපසිරැසිද ඇතුළත් කර ඇති නිසා, එම භාෂාවන් කතා කරන මගීන්ට එහි ඇතුළත් කරුණු වඩාත් හොඳින් වටහා ගැනීමට හැකි වනු ඇත.
ජාත්‍යන්තර තලය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැංවෙන ආකාරයට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ විවිධාකාර ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම විටම උත්සාහ දරයි. එමෙන්ම ශ්‍රී ලංකාව යනු ත්‍රාසජනක ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා සඳහා ඉතාමත් සුදුසු ගමනාන්තයක් බවට ලොවට පෙන්වා දීම සඳහා Raid Amazones, BikingMan සහ Barmy Army Fans’ World Cup වැනි වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කිරීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.