ලොකු ⁣ලූණු සඳහා රුපියල් 80 ක සහතික මිලක්

ලොකු ලුනූ සඳහා දැනට පවතින අවම සහතික මිල රුපියල් 20කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව දැනට රුපියල් 60ක් වන අවම සහතික මිල රුපියල් 80 ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවූ බව කැබිනට් ප‍්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ලොකු ලුනූ ගොවීන්ගේ ආදායම ඉහළ දැමීම සහ ගොවීන්ට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දෙමින් වගාව සඳහා ඔවුන් දිරිමත් කිරීම මෙම තීරණය ගැනීමේ අරමුණ බව ද ඇමැතිවරයා කීවේය. 

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ලොකු ලුනූ වගාවන්හි ඵලදායිතාවය ඉහළ නංවමින් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මඟින් විශේෂ වැඩසටහනක් කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමට ද අගමැතිවරයා මෙහිදී යෝජනා කර ඇති බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.