ශ්‍රීලංකන් ගුවන් සේවයේ හවුල්කාරීත්වය සමගින් TAAI සමුළුව නැවතත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම්

ඉන්දියාවේ විශාලතම සංචාරක සංවිධානය වන ඉන්දියානු සංචාරක නියෝජිතයන්ගේ සංගමය (Travel Agents Association of India – TAAI) වසර 18 කට පසුව නැවතත් සිය වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 67 වන වරට පැවැත්වෙන මෙම සමුළුව සඳහා එම සංගමය ශ්‍රීලංකන් ගුවන් සේවය සමග අත්වැල් බැඳගෙන සිටී. 2023 ජූලි 06 දින සිට ජූලි 09 දින දක්වා කොළඹදී මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සාමාන්‍යයෙන් මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයන් අතරින් 45% ක් පමණම ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කරති. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට කැප වී සිටින ගුවන් සේවයක් වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මේ ආකාරයට ඉන්දියාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වාර්ෂික සමුළුව සමග අත්වැල් බැඳගැනීමට කටයුතු කර ඇති අතර, මෙය අභියෝගකාරී වසර කිහිපයකින් අනතුරුව ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම නැවත වර්ධනය කරගැනීමට ලැබෙන අගනා අවස්ථාවක් වනු නිසැක ය.


ගුවන් සේවාවන්, සංචාරක සේවා සමාගම්, හෝටල් සහ ප්‍රවාහන සමාගම් ඇතුළු පාර්ශ්ව රැසක් සාමාජිකත්වය දරන TAAI සංගමය, ඉන්දියාවේ සංචාරක සේවා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරයි. මෙම වසරේ සමුළුවට සමාගම් 450 ක් සහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් 50 ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ අතරින් සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කරනු ඇත. මෙම සමුළුව සත්කාරක රටට දැවැන්ත ප්‍රචාරයක් ලබාදෙමින් එරට සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට සමත් වන සමුළුවක් ලෙස සැලකේ.


TAAI 2023 සමුළුවේ ප්‍රධාන තේමාව කලාපීය සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම වන අතර, එය ශ්‍රීලංකන් ගුවන් සේවය කලාපය සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමෝපායට සමගාමී වේ. ඉන්දියානු සාගරයේ සුවිශේෂී ස්ථානයක පිහිටා තිබීම නිසා ශ්‍රී ලංකාව ඉන්දියාවට උතුරින්, නැගෙනහිරින් සහ බටහිරින් පිහිටි රටවල් යා කරන කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිතා කිරීම පහසු ය. මේ නිසාම ආසියාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව සහ මාලදිවයින වෙත ගමන් කරන ඉන්දියානු සංචාරකයන් අතර ජනප්‍රියම අතරමැදි ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් වී ඇත. මේ වනවිට ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, බැංගලෝර්, හයිද්‍රාබාද්, කොචි, ත්‍රිවේන්ද්‍රම්, චෙන්නායි, ට්‍රිචි සහ මදුරෙයි අතර සතිපතා ගමන් වාර 85 ක් ක්‍රියාත්මක කරයි.


“ඉන්දියාව යනු හේතු රාශියක් නිසා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉතිහාසය තුළ සුවිශේෂී ස්ථානයක් හිමි රටක්. අපගේ වත්මන් ගුවන් ගමන්වලින් 40% ක් පමණ ඉන්දියාව සමග සම්බන්ධ වී තිබීම මගින් මෙය පැහැදිලි වනවා. ඉදිරියේදී Leisure සහ MICE කාණ්ඩවල සංචාරකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින්, ඉන්දියාව සමග පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම අපගේ ඉලක්කයයි. ඒ වෙනුවෙන් ඉදිරියේදී ඉන්දියාවේ තවත් නගර කිහිපයක් වෙත අපගේ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වනවා. මෙම සැලසුම් සාර්ථක කරගනිමින් දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා මේ ආකාරයට TAAI සංගමයේ දැවැන්තම වාර්ෂික වැඩසටහන සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්.” ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජාත්‍යන්තර විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසී ය.


ශ්‍රී ලංකාව යනු සංචාරය සඳහා සුරක්ෂිත, පහසු සහ හුරුපුරුදු පරිසරයක් සහිත රටක් බව ඉන්දියානු සංචාරකයන්ට සහ එරට සංචාරක ක්ෂේත්‍රයට පෙන්වා දීම සඳහා මෙම සමුළුව කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන්දියාව සමග සිදුකරන ගනුදෙනුවලදී මෙම ප්‍රතිරූපය තවදුරටත් වර්ධනය කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය නිරන්තරයෙන් කටයුතු කරයි.


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගමනාගමනයට වසර දහස් ගණනක ඉතිහාසයක් ඇත. TAAI සමුළුව වෙත පැමිණෙන සංචාරකයන් සාදරයෙන් පිළිගන්නා අතරම, දෙරට අතර ගමනාගමනය සඳහා වර්තමානයේ පහසුකම් සලසන ප්‍රමුඛතම සේවා සම්පාදකයා ලෙස තම වගකීම අකුරටම ඉටුකිරීම ශ්‍රීලංකන් ගුවන් සේවය බලාපොරොත්තු වෙයි.