ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ලාහෝර් අතර සතිපතා ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර ගණන 4 දක්වා වැඩි කරයි

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ නගරයේ සිට පාකිස්ථානයේ ලාහෝර් නගරය දක්වා සතියකට ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව 4 දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව 2023 ඔක්තෝබර් 31 දින සිට, සෑම සතියකම ඉරිදා, සඳුඳා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ලාහෝර් අතර පියාසර කරනු ඇත. මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවය පාකිස්ථානයේ කරච්චි නගරය දක්වාද සතියකට ගුවන් ගමන් වාර 4 ක් ක්‍රියාත්මක කරන අතර, මේ ආකාරයට පාකිස්ථානයේ ප්‍රධාන නගර දෙකක් සම්බන්ධ කරමින් සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන, ඉන්දියානු අර්ධද්වීපයේ එකම විදේශීය ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය වීම විශේෂත්වයකි.


මෙම නව පියවර මගින්, කොළඹ සහ ලාහෝර් අතර සතියකට ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාවේ 20% ක පමණ වැඩිවීමක් සිදුවනු ඇත. සාමාන්‍යයෙන් මෙලෙස කොළඹ සහ ලාහෝර් අතර ගමන් කිරීම සතියකට මගීන් 900 කට පමණ අවස්ථාව සැලසේ. මෙම ගුවන් ගමන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය Airbus A320, A321 සහ A330 යානා භාවිතා කරන අතර, මෙම ගුවන් ගමන්වලදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ සුපුරුදු සුහද සත්කාරය අත්විඳීමට මගීන්ට අවස්ථාව ලැබේ.


“කොළඹ සහ ලාහෝර් අතර ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යනු දීර්ඝ කාලයක පටන් සමීප සම්බන්ධතා පවත්වාගෙන යන රටවල් දෙකක්. ශ්‍රීලංකන් ගුවන් සේවය කවදත් උත්සාහ කරන්නේ මගීන්ට වැඩි පහසුවක් සැලසීමටයි. මෙම පියවර පාකිස්ථානයේ සිට කොළඹ බලා පැමිණෙන මගීන්ට මෙන්ම, මාලදිවයින, ඈත පෙරදිග, ඕස්ට්‍රේලියාව සහ යුරෝපය බලා යන මගීන්ටද විශාල පහසුවක් වේවි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසී ය.


ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන් වෙනුවෙන් තවත් සුවිශේෂී ප්‍රතිලාභ එකතුවක්ද මේ වනවිට හඳුන්වා දී ඇත. විවේකය සඳහා පැමිණෙන සංචාරකයන් සහ සංචාරක කණ්ඩායම් වෙනුවෙන් විශේෂ ගාස්තු හඳුන්වා දීම, විදේශ රටවල අධ්‍යාපනය ලබන්නන්ට අමතර කිලෝග්‍රෑම් 10 ක බර රැගෙන යාමට අවස්ථාව සලසා දීම සහ වෙනත් රටක් බලා යන ගුවන් යානයකට ගොඩවීමට පෙර කොළඹ නගරයේ වැඩි වේලාවක් රැඳී සිටීමට සිදුවන මගීන්ට නොමිලේ හෝටල් නවාතැන් සැපයීම ආදිය මේ අතරින් ප්‍රධාන තැනක් ගනී.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා සහ ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න.