මෙරට අපනයන ක්ෂේත්‍රය සවිබල ගන්වමින් බ්‍රැන්ඩික්ස් වෙතින් ප්‍රථම අපනයනය එක්සත් ජනපදයට

ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිත ලෙස, ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා විසින් බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය සඳහා නිෂ්පාදනය කළ මිලියන 200 ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංකේතාත්මකව බාර දෙන ලදි.

බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) සභාපති ඒ. සුකුමරන්, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල යන මහත්ම-මහත්මීහු ද සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාටත්, බ්‍රැන්ඩික්ස් සමාගමටත් සිය කෘතඥතාව පළ කර සිටියාය. “සමස්ත ලෝකය ම වසංගත තත්ත්වයට එරෙහිව සටන් වදිමින් සිටින මෙවන් මොහොතක, මෙම අනපේක්ෂිත තත්ත්වය හමුවේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරනවා. එම රාජ්‍යයන් දෙක අතර සහයෝගීතාව නිසාම COVID-19 වෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සිදු කිරීමට හැකි වී තිබෙනවා. මෙම මුහුණු ආවරණ සඳහා භාවිත කෙරුණු රෙදි ශ්‍රී ලංකාවේ ම නිෂ්පාදනය කිරීමත්, විෂබීජවලට ප්‍රතිරෝධී නිමාව සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය එක්සත් ජනපදයෙන් ලබා ගැනීමත් සහයෝගිතාව හරහා සැමට ප්‍රතිලාභ හිමිවන බව තවදුරටත් තහවුරු කරනවා. ඉදිරියේදී පුද්ගල ආරක්ෂණ මෙවලම් (PPE) කට්ටල සඳහාවන ගෝලීය සැපයුම තිරසර අන්දමින් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයත්, බ්‍රැන්ඩික්ස් සමාගමත් සමග අඛණ්ඩව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා.”

ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිත මෙන්ම ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ද මෙහිදී අදහස් පළ කළේය. “COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය මෙම මුහුණු ආවරණ මිලියන 200 වැනි මෙරට නිෂ්පාදනය කෙරෙන නිෂ්පාදන එක්සත් ජනපදය වැනි රටවලට අපනයනය කිරීමට හැකි වීම පිළිබඳ අප ආඩම්බර වනවා. ශ්‍රී ලංකාවත්, ඇමරිකා එක්සත් ජනපදයත් අතර ඇති සහයෝගීතාව හේතුවෙන් ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන අප රටින් ලබා ගැනීම සඳහා ගෝලීය පාරිභෝගිකයන් හට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනවා. එම ගමනේදී තම සම්පත් යොදා ගනිමින් බ්‍රැන්ඩික්ස් වැනි ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් පෙරට පැමිණීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. වත්මන් සහ අනාගත වෙළඳපොල අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය දියුණු යටිතල පහසුකම් හා ක්ෂණිකව අනුගත වීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ ඇතිබව ගෝලීය වෙළඳපොලට ඇඟවීමට එමගින් හැකිවී තිබෙනවා.”

බ්‍රැන්ඩික්ස් සමාගමේ සාමාජික සාමාජිකාවන් 15,000 කගේ ශ්‍රම දායකත්වයෙන්   හා විවිධ සැපයුම්දාම පර්ශවකරුවන්ගේ සහයෝගයෙන් මෙම මුහුණු ආවරණ මිලියන 200 නිෂ්පාදනය කෙරිණි. ස්ථර 3කින් යුක්තව කපු අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම මුහුණු ආවරණ විෂබීජවලට ප්‍රතිරෝධී නිමාවකින් යුතුවන අතර වඩාත් හොඳින් මුහුණට සවි වීම සඳහා ඇදෙන සුළු ලෙස ඉහළම ගුණාත්මක ප්‍රමිති සහ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති බව බ්‍රැන්ඩික්ස් සමාගම පවසයි.

“ඇඟළුම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම අපනයන ආදායම් උත්පාදකයෙකු වනවා. පසුගිය මුල්‍ය වර්ෂය තුළ පමණක් උත්පාදනය කළ අපනයන ආදායම ඇ. ඩොලර්. බිලියන 5.6 ක් වනවා. කෙසේවෙතත්, COVID-19 වසංගතයේ  බලපෑමෙන් වෙළෙඳ සහ නිෂ්පාදන කටයුතුවල ඇති වූ නොවැලැක්විය හැකි පසුබෑම හේතුවෙන්, අපනයන වෙළඳපොල තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන සිටි හිමිකාරිත්වයට බලපෑමක් ඇති වුණා. එවැනි අතිශය අභියෝගාත්මක වාතාවරණයක් මධ්‍යයේ වුව ද, එක්සත් ජනපදය වෙත අපනයනය කිරීම සඳහා මුහුණු ආවරණ මිලියන 200 ක් නිෂ්පාදනය කිරීමට හැකි වීම ඉතාම සතුටට කරුණක්. මන්ද, එමගින් මෙම රාජ්‍යයන් දෙක අතර පවතින අඛණ්ඩව විශ්වාසය සහ සහයෝගිතාව මනාව පිළිබිඹු වනවා. අභියෝග හමුවේ වුව ද දීර්ඝ කාලීනව ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දෙමින් ජාතික ආර්ථිකය නගා සිටුවීම සඳහා ඇඟළුම් ක්ෂේත්‍රය ඉදිරියටත් කටයුතු කරනවා. නිෂ්පාදන අඛණ්ඩව සිදු කිරීම හරහා ජීවනෝපාය තහවුරු කිරීමට හැකි වීම පිළිබඳව ද අප සතුටු වනවා. මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛත ම සමාගමක් ලෙස අප, මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන සඳහා හැකි උපරිමයෙන් සහයෝගය ලබා දෙන බවට ශ්‍රී ලංකා රජයට සහතික වනවා,” යනුවෙන් බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල මහත්මිය සඳහන් කළාය.