සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී නව විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රියන්ත විජේසේකර වැඩ භාරගනියි

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රියන්ත විජේසේකර මහතා පසුගියදා වැඩ බාර ගත්තේය. මින් පෙර ඒ මහතා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ලීසිං අංශයේ විධායක උප සභාපති තනතුර හෙබවූ අතර සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනයේ 2013 වසරේ පටන් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේ නලින් විජේකෝන් මහතාය.

බැංකුකරණ සහ මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 20 කට අධික කාලයක් පුරා නියැලී සිටින විජේසේකර මහතා, ලීසිං, ෆැක්ටරිං, රක්ෂණ, එකතුකිරීම්, ප්‍රතිසාධන සහ නඩු කටයුතු ආදී පුළුල් පරාසයක විහිදුනු අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන වෘත්තිකයෙකි. වෘත්තියෙන් නීතිඥවරයෙකු සහ සොලිසිටර්වරයෙකු වන ඒ මහතා, වාණිජ බේරුම් කිරීම් සහ නැව් නීතිය සම්බන්ධ හසළ දැනුමකින් යුතු වෙයි. මර්චන්ට් බැංකු සමූහය සමග සම්බන්ධ වෙමින් බැංකුකරණ සහ මුල්‍ය ක්ෂේත්‍රයට පා තබන විජේසේකර මහතා පසුව සිටි නැෂනල් ඉන්වෙස්ට්මන්ට් බැංකුවේ ප්‍රධාන නීති සහ අනුකුලතා නිලධාරී ලෙස එම බැංකුවේ සේවයට එක් වෙයි. 2001 වසරේදී ඒ මහතා මර්චන්ට් ලීසිං ආයතනයේ නීති සහ මානව සම්පත් අංශයේ ප්‍රධානී ලෙස සේවයට එක්වන අතර එහිදී සිදුවන ඒකාබද්ධ වීම් සහ අත්කර ගැනීම් මාලාවක් හේතුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේත්, ජෝන් කීල්ස් සමූහයේත් කොටසක් බවට පත් වූයේය. ආයතනික මෙහෙයුම් කටයුතුවලට අමතරව විජේසේකර මහතා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රජා සත්කාරක පදනමේ ද ප්‍රමුඛ පාර්ශ්වයක් බවට පත් වෙමින් අභ්‍යන්තර සහ බාහිර පාර්ශ්වකරුවන් වෙනුවෙන් ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ආදී දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මෙන්ම සමාජයේ දෘශ්‍ය අවශ්‍යතා සහිත පිරිස් වෙනුවෙන් නොමිලේ ජංගම අක්ෂි සායන ක්‍රියාත්මක කිරීමට ද සමත් වූයේය. ශාන්ත තෝමස් විද්‍යාලයේ දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ද වන විජේසේකර මහතා වරෙක ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් ශූරයා වෙමින් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමේ භාග්‍යය ද හිමිකර ගත්තේය.

හරිත ධාවනයක් මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම කිරීම සඳහා පළමු වරට ‘හරිත ලීසිං’ සංකල්පය මෙරටට හඳුන්වා දීමත්, ගැනුම්කරුවාගේත්, විකුණුම්කරුවාගේත්, මුල්‍ය සහකරුගේත් කාලයත්, ශ්‍රමයත් ඉතිරි කරමින් වාහන අලෙවි මධ්‍යස්ථානයේදී ම පරිපූර්ණ ලීසිං සේවාවක් පිරිනමන ‘ඔන්-සයිට් ලීසිං’ පහසුකම හඳුන්වා දීමත් විජේසේකර මහතා ලීසිං ක්ෂේත්‍රයේ ඉටු කර ඇති පුරෝගාමී මෙහෙවරට සාක්ෂ්‍ය දරයි. ඵලදායිතාව සහ අභ්‍යන්තර කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් කැපවූ ඒ මහතා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ස්ථාපනය කළ නැවුම් එකතු කිරීමේ සහ ප්‍රතිසාධන ක්‍රියාවලිය හේතුවෙන් එම බැංකුවට වාර්තාගත ණය ප්‍රමාණයක් එකතුකර ගැනීමට හැකි විය. තවද, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන කළමනාකරණ තනතුරු රැසක් හොබවන අතරතුර ලීසිං ක්ෂේත්‍රය සඳහා තාක්ෂණික නවෝත්පාදන ක්‍රමෝපාය හා ඩිජිටල් මුල්‍ය මෙවලම් හඳුන්වා දීම වෙනුවෙන් ද ඒ මහතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.

විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය පාරිභෝගිකයන් හට අසමසම අගයක් පිරිනමන සේවා රැසක් සමගින් ඩිජිටල් මුල්‍ය සේවා සම්පාදකයා බවට පත්වීමේ ගමන වෙත ශක්තිමත්ව ප්‍රවේශ වී සිටී.

“සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය යනු ‘Change is Good’ යන සංකල්පය කෙරෙහි විශ්වාසය තබන ආයතනයක්. එබැවින් ඩිජිටල් පදනමක් ඔස්සේ අපගේ පද්ධති සහ ක්‍රමවේද සකස් කරමින් අපගේ පාරිභෝගිකයන් හට අසමසම, ඩිජිටල් සහ පහසු සේවාවක් ලබා දිය හැකි ලියකියවිලිවලින් තොර අනාගතයක් කරා ගමන් කිරීම සඳහා අප කැප වනවා. අපගේ නව පාරිභෝගික ඉලක්කය වන්නේ මෙරට අනාගත නායකයන්වන තරුණ ප්‍රජාවයි. ඔවුන්ට ඵලදායී තීරණ ගැනීම සඳහා අවශ්‍ය කුසලතා සහ දැනුම මේවන විටත් ඔවුන් සතුව තිබෙනවා. එබැවින් ඔවුන්ට අප වෙත පහසුවෙන් ළඟා විය හැකි ලෙස අපගේ මෙහෙයුම් කටයුතු සකස් කරමින් ඔවුන්ගේ ඉදිරි මුල්‍ය ගමන තුළ ළඟම සහකරු බවට පත් වීමේ දැක්ම අනුව අප කටයුතු කරමින් සිටිනවා,” යනුවෙන් නව ප්‍රධාන විධායක නිලධාරී විජේසේකර මහතා සඳහන් කළේය.