වටවල තේ සමාගමේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

‘අපේ තේ’ ඇසුරුම් කිරීම හා ලේබල් කිරීම සම්බන්ධයෙන් හැරිසන්ස් කලම්බු ලිමිටඩ් සමාගමට හා ඉන්ටර්නැෂනල් කොස්මෙටික්ස් පුද්ගලික සමාගමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම කොළඹ වානිජ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ . කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් වටවල ටී සිලෝන් සමාගම කළ ඉල්ලීමක් මෙලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
හැරිසන්ස් කලම්බු ලිමිටඩ් සමාගමට හා ඉන්ටර්නැෂනල් කොස්මෙටික්ස් පුද්ගලික සමාගමට එරෙහිව වටවල ටී සිලෝන් සමාගම විසින් ගොනු කළ නඩුවක් කොළඹ වානිජ මහාධිකරණය හමුවේ ඊයේ(26) සලකා බැලිණි.
වටවල ටී සිලෝන් සමාගම අදාල නඩුව පවරා ඇත්තේ, ‘අපේ තේ’ නිෂ්පාදනවල ඇසුරුම් හා ලේබල තමන්ගේ නිෂ්පාදනවල ඇසුරුම් හා ලේබලවලට සමාන හෝ යම්තාක් දුරකට සමාන බව පවසමිනි.
අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ කොළඹ වානිජ මහාධිකරණය විත්ති පාර්ශවයට එරෙහිව පනවා තිබු වාරණ නියෝගය ද ඉවත් කර ඇත.
-ජුලියස් ඇන්ඩ් ක්‍රීසි- නීති සමාගමේ උපදෙස් මත හැරිසන්ස් කලම්බු ලිමිටඩ් සමාගම හා ඉන්ටර්නැෂනල් කොස්මෙටික්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ යම් භාණ්ඩයක වර්ණය මත තීරණ ගැනීමේ පුරුද්දක් වත්මන් පාරිභෝගිකයන්ට නොමැති බවයි.
යම් වෙළෙඳ ලකුණක් වෙන් කර හඳුනාගැනීමේ එකම තීරණාත්මක සාධකය වර්ණය හා ඇසුරුම් කිරීම නොවන බව ද නීතිඥවරුන් පැවසුහ.
කොළඹ වානිජ මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මෙරට බුද්ධිමය දේපළ හා සන්නාම සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්ථානයකි.
‘අපේ තේ’  නිෂ්පාදන දැන් පාරිභෝගිකයින්ට මිල දී ගත හැකිය.