බිම්පුත් ෆයිනෑන්ස් සමාගම ධනාත්මක වර්ධනයක් ළඟා කරගනියි

කොවිඩ් අර්බුදය මධ්‍යයේ වුවද, ඉකුත් ජුනි-සැප්තැම්බර් මූල්‍ය කාර්තුව තුළ ඉහළ ධනාත්මක වර්ධනයක් අත්කර ගැනීමට මෙරට මූල්‍ය සේවා අංශයේ ප්‍රකට සමාගමක් වන බිම්පුත් ෆයිනෑන්ස් සමාගමට හැකිවී තිබේ.

අභියෝගකාරී කාලසීමාවකදී එවන් වර්ධනයක් අත්කරගැනීමට මාර්ගෝපදේශනය ලබාදුන් රජයටත්, විශේෂයෙන් ම ශ්‍රී ලංකා මහ බැංකුවටත්, බැංකු සහකරුවන් හා පාරිභෝගිකයින් ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ටත්, බිම්පුත් ෆයිනෑන්ස් සමාගම සිය කෘතවේදීත්වය පළ කර සිටී.

වසංගත කාලසීමාව තුළ බිම්පුත් ෆයිනෑන්ස් ආයතනයේ මුදල් ප්‍රවාහයට මෙන්ම පොළී ආදායමට ද දැවැන්ත බලපෑමක් ඇති වූ නමුදු, තම පාරිභෝගිකයන්ගේ අසීරුතා මැනවින් අවබෝධ කරගනිමින් 40,000ක පමණ පාරිභෝගික පිරිසකට ණය සහන කාල පරිච්ඡේද ලබාදීමට සමාගම පියවර ගෙන තිබුණි. ආර්ථිකමය අභියෝගයකට මුහුණපා සිටින තම පාරිභෝගිකයන්ට මූල්‍ය සහනයක් හිමිකර දීම, එහි අරමුණ විය.

“ගෙවුණු වසර ගණනාව මුළුල්ලේ මූල්‍ය අංශය තුළ ස්ථීර හා ඉදිරිගාමී භූමිකාවක නිරතවීම සඳහා අපි තිරසාර හා විවිධාංගීකරණය වූ ව්‍යාපාර සැලැස්මක් ක්‍රියාවට නැංවූවා. එම ශක්තිමත් තත්ත්වය වගේම දක්ෂ මූල්‍ය කළමනාකරණයත්, ජවසම්පන්න ආකල්ප හා අපගේ කාර්ය මණ්ඩලයේ උද්‍යෝගයත් නිසා කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා මතු වූ ඇතැම් බලපෑම් වළක්වා ගැනීමටත්, අපගේ ව්‍යාපාර කටයුතු වහාම නිවැරදි මාවතට ගැනීමටත් අපට හැකිවුණා. එය අප සමාගමේ ශක්තියට හා මූල්‍ය ස්ථාවරත්වයට කදිම සාක්ෂියක්” යනුවෙන් බිම්පුත් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පී. නිරන්ජන් මහතා පැවසීය.

තම පාර්ශ්වකරුවන්ට, වඩා යහපත් හෙටක් නිර්මාණය කිරීම උදෙසා කැපවී සිටින බිම්පුත් ෆයිනෑන්ස් සමාගම තම පාරිභෝගිකයන්ට හා සමස්තයක් ලෙස මෙරට ප්‍රජාවට වඩාත් සුදුසු හා නව්‍ය මූල්‍ය විසඳුම් රැසක් පිරිනැමීමට ක්‍රියාකර තිබේ. ඒ දැවැන්ත ශක්තියක් ද පිළිබිඹු කරමිනි.

සියලු පාර්ශ්වකරුවන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් වර්ෂ 2007 දී පිහිටුවන ලද එම සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි කළ බැංකු නොවන මූල්‍ය ආයතනයකි. බිම්පුත් ෆයිනෑන්ස් සමාගම ඇතුළු තවත් බැංකු නොවන මූල්‍ය ආයතන 41ක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පිළිගැනීමට හා නියාමනයට යටත් අතර, 2012 වසරේදී කොළඹ කොටස් හුවමාරුව තුළ ද බිම්පුත් ෆයිනෑන්ස් සමාගම ලැයිස්තුගත කෙරුණි. එමගින් එය පොදු ආයතන නියාමන රෙගුලාසිවලට ද අනුකූලව තම ව්‍යාපාර කටයුතු මෙහෙයවයි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්පාදකයෙකු ලෙස ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කළ ද, මෙරට ජනතාවගේ නව අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින්, සාමාන්‍ය ගනුදෙනුකරුවන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ද ණය හා ආයෝජන විසඳුම් රැසක් හඳුන්වා දීමට බිම්පුත් ෆයිනෑන්ස් ආයතනය ක්‍රියාකර තිබේ.
එහිදී මූල්‍ය ඒකාබද්ධතාව හා රට පුරා සමාජ ආර්ථික සවිබලගැන්වීමට දායක වීමත්, මෙරට ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, රන් ණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය, ආයතනික ණය, පුද්ගල ණය, නිවාස ණය, කල්බදු (ලීසිං) විසඳුම්, තැන්පතු හා විදෙස් විනිමය හුවමාරු සේවා ඇතුළු සේවා රැසක් බිම්පුත් ෆයිනෑන්ස් සමාගම පිරිනමයි.
එම සමාගම මෙරට දිස්ත්‍රික්ක 22ක් පුරා ක්‍රියාත්මක වන අතර, ස්ථාන 47ක බලපත්‍රලාභී ශාඛා ජාලයක් ද පවත්වාගෙන යයි. සමාගම සතු සමස්ත ගනුදෙනුකරුවන් ප්‍රමාණය 150,000ක් පමණ වේ.

පළපුරුදු, දක්ෂ, ජවසම්පන්න හා කැපවුණු එහි කාර්යමණ්ඩලය ගනුදෙනුකාර භවතුන්ගේ ඉලක්ක සාක්ෂාත් කරවීම සඳහා ද වෙහෙස වී ක්‍රියාකරයි. බැංකුකරණය, නීතිය, කළමනාකරණය හා මූල්‍ය වැනි අංශයන්හි පුළුල් ප්‍රවීණත්වයකින් හෙබි අධ්‍යක්ෂ මණ්ඩලය, දිගුකාලීන වර්ධනය සඳහා අවැසි නායකත්වය, යුක්තිසහගත භාවය හා වගවීම ද ලබාදෙයි.

තම අපේක්ෂා මුදුන්පත් කිරීමෙහිලා විශ්වාසනීය සන්නාමයක් ලෙස පාරිභෝගිකයන්ට සමීප වී ඇති බිම්පුත් ෆයිනෑන්ස් සමාගමට පසුගිය කාලය මුළුල්ලේ සම්මාන බුහුමන් රැසක් ද හිමිව තිබේ.

ඒ අනුව 2019 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සන්නාම උපදේශන සමාගම විසින් පිරිනමන, ‘ආසියාවේ වඩාත් ම විශ්වාසනීය මූල්‍ය සේවා සමාගම (ශ්‍රී ලංකාව)’ යන සම්මානය ද, එම වසරේදී ම ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ 55 වැනි වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී, මූල්‍ය සමාගම් හා කල්බදු සමාගම් (රුපියල් බිලියන 20 දක්වා වූ සමස්ත වත්කම් ඇති) සඳහා පිරිනැමෙන ‘වාර්ෂික වාර්තා සම්මානය’ ද බිම්පුත් ෆයිනෑන්ස් සමාගම ට හිමිවිය.

මේ අතර ඉකුත් වසරේදී ඇති වූ පාස්කු ප්‍රහාරය හමුවේ මතු වූ ඍණාත්මක ආර්ථික පරිසරය තුළ පවා ශක්තිමත්ව නැඟී සිටීමට බිම්පුත් ෆයිනෑන්ස් සමාගමට හැකිවිය.

තම ව්‍යාපාර මෙහෙයුමට සමගාමී ශක්තිමත් ව්‍යාපාර මූලිකාංග පවත්වාගෙන යාම සඳහා බිම්පුත් ෆයිනෑන්ස් සමාගම හඳුන්වා දී ඇති ඒකාබද්ධ ක්‍රමෝපාය සැලසුම හා සුවිශේෂී ව්‍යාපාර මාදිලිය හේතුවෙන්, මෙවන් අවිනිශ්චිත කාලසමයක පවා පාරිභෝගිකයින්ට සේවා සැලසීමට හැකිවී තිබේ. විශේෂයෙන් ම නියාමන අවශ්‍යතාවක් මත සමාගම සකසා ඇති ප්‍රාග්ධන සම්පාදන සැලසුම ද මේ වනවිට මහ බැංකුවේ සැළකිල්ලට බඳුන් වෙමින් පවතී. බිම්පුත් ෆයිනෑන්ස් සමාගම ඉකුත් කාර්තුවේදී ධනාත්මක ව්‍යාපාර තත්ත්වයක් ළඟා කරගනුයේ මේ සියල්ල මධ්‍යයේ වීම කැපීපෙනේ.