TukTuk Ladies Task Force බිහිවෙයි

එදිනෙදා අවශ්‍ය ගෘහස්ථ සේවා මෙන්ම ආයතනික සේවා සැපයීමට කාන්තාවන්ට මනා පුහුණුවක් ලබාදී ඒ පිළිබදව ඇගයීමට ලක් කිරීම පසුගියදා බණ්ඩාරගම පිහිටි ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණි.

ශ්‍රී ලංකාවේ පළමුවරට පවත්වන ලද මෙම පුහුණුව ලබාදුන් කාන්තා බලකාය TukTuk Ladies Task Force ලෙස නම් කර තිබූ අතර ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් මෙම පුහුණුව එම කාන්තාවන් වෙත ලබාදෙන ලදී.

TukTuk Ladies Task Force වැඩසටහන සදහා පළමුවෙන්ම කාන්තාවන් 20ක් පමණ තෝරා ගන්නා ලද අතර ඔවුන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් විවිධ පුහුණු වැඩසටහන් පවත්වන ලදී. නිවාස පිරිසිදු කිරීම, වාහන සේදීම, හෝටල් කාමර කළමනාකරණය, ගෘහාශ්‍රිත උද්‍යාන සේවා සැපයීම ආදී විවිධ සේවා වෘත්තීයමය වශයෙන් සැපයීම පිළිබදව ඔවුනට ප්‍රායෝගික මෙන්ම විද්‍යානුකූල පුහුණුවක් මාස 03ක කාලයක් තුළ ලබාදෙන ලදී.

දිවයින පුරා විවිධ ස්ථානවලදී එසේ පැවැති පුහුණු වැඩසටහන් මාලාවලින් අනතුරුව ඔවුනට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා බණ්ඩාරගම ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

මෙහිදී ඔවුන්ට සේවා සැපයීමේදී අවශ්‍යවන උපකරණ පරිත්‍යාග කිරීමද ඬේවිඞ් පීරිස් සමූහ  ව්‍යාපාරය විසින් සිදුකරන ලදී.

ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඬේවිඞ් පීරිස්, සභාපති රෝහණ දිසානායක, විධායක අධ්‍යක්ෂ (අමතර කොටස් හා උපාංග) සහ සේවක සුභ සාධක කමිටුවේ සභාපති ජයන්ත රත්නායක, විධායක අධ්‍යක්ෂිකා රෝමණී පරාක්‍රම ඇතුළු මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවිය.

ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් මීට වසර කිහිපයකට ඉහතදී තම සමාජ සුභසාධක ව්‍යාපෘතියක් ලෙස කාන්තාවන් සවිබලගැන්වීමේ වැඩසහනක් ආරම්භකරන ලදී. එම  වැඩසටහන හරහා මේ වනවිට කාන්තාවන්ට විවිධ ස්වයං රැකියා සම්බන්ධව මෙන්ම තාක්ෂණික පුහුණව ලබා දීම තුළින් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් අලුත්වැඩියාව සහ සේවා ලබා දීම පිළිබදව පුහුණු කර ඇත. මෙම වැඩසටහන සහ TukTuk Ladies Task Force වැඩසටහනද ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයේ අධීක්ෂණය යටතේ සිදුකරන ලදී.

මේ වනවිට දිස්ත්‍රික්ක මට්ටමින් තෝරාගත් කාන්තාවන් සදහා තාක්ෂණික පුහුණුව ලබාදීමේ වැඩසටහන් 07ක් පමණ කළුතර, කිලිනොච්චිය, පොළොන්නරුව, අනුරාධපුර, මොණරාගල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ආවරණය කරමින් සාර්ථකව අවසන්කර ඇත. එම වැඩසටහන් වලට සහභාගීවූ කාන්තාවන් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් සේවා සහ අලුත්වැඩියා කිරීමට තමන්ගේම ගරාජයන් සහ සේවා ස්ථාන පවත්වාගෙන යනු ලබන අතර තවත් පිරිසක් බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවිසල් පවත්ගෙන යනු ලබයි.

තවද ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනිහි ඩීලර් ස්ථානවල සේවය කරන අතර තවත් පිරිසකට තමන්ගේ මෝටර් සයිකලය හෝ ත්‍රිරෝද රථය තම නිවසේදීම අලුත්වැඩියා කටයුතු සිදුකර ගැනීමේ හැකියාව ලැබී තිබේ.

ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරයේ කාන්තා සවිබලගැන්වීමේ වැඩසටහනට ලෝක බැංකු සාමාජික ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව හා ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය ඇතිව Women in Management (WIM) ආයතනය විසින් සංවිධානය කරන ලද ‘Top 50 Professional & Career Women Awards – Ninth Edition – Sri Lanka & Maldives සම්මාන උළෙලේදී පෞද්ගලික අංශය විසින් කාන්තාවන් සවිබලගැන්වීම සදහා ක්‍රියාත්මක කළ හොදම ආයතනික සමාජසත්කාර වැඩසටහනට හිමි රන් සම්මානයද හිමිවිය.