හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද වතු සේවක වැටුප රුපියල් 1000 සම්මත වෙයි

දීර්ඝ කාලයක සිට වතු කම්කරු ජනතාව තමන්ගේ වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර දෙන ලෙස කරන ලද ඉල්ලීම පසුගිය වසර පහක කාලය තුළදී ඉටු නොවී තිබූ වකවානුවක වර්තමාන රජය⁣ට එම වතු කම්කරු ඉල්ලීම එනම්, වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට අවස්ථාව ලැබීම විශාල ජයග්‍රහණයක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයේ වතු කම්කරු ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින්, එසේම සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන තුළින් ඉදිරියට ගත් රජයේ ප්‍රධාන යෝජනාවක් වූ, වතු කම්කරු ජනතාවගේ ජීවිත වඩා උසස් තත්වයකට ගෙන ඒම සඳහා රජය වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මෙම වතු කම්කරු වැටුප වැඩි කිරීම සදහා වතු හාම්පුතුන් සහ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා වට දාහතරකට ආසන්න සංඛ්‍යාවක් පැවැත් විය. එහි දී බොහෝ වතු සමාගම් නියෝජිතයෝ හා වතු හාම්පුතුන් එම ඉල්ලීමට විරුද්ධත්වය පළ කළ අතර , විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම වැළැක්වීමට උත්සාහ කළහ .නමුත් අවසානයේ තේ හා රබර් කර්මාන්ත සඳහා වන නව පඩිපාලක සභා දෙකක් පත්කර, පසුගිය පෙබරවාරි 8 වැනිදා වතු කම්කරු ජනතාවට දෛනික වැටුප රුපියල් 1000ක් ලබාදීමේ තීරණය එම පඩිපාලක සභා දෙක විසින් ගනු ලැබූහ.

ඉන්පසු ඒ සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය ලබා දී ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට පසුගිය සතියේ එම පඩිපාලක සභා හැදුවද කැදවුවද ඊට හාම්පුතුන්ගේ පැත්තෙන් ප්‍රමාණවත් සහභාගිත්ව නොතිබූ බැවින්, නැවත එම පඩිපාලක සභා දෙක කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අද ( 01) දින රැස් කරනු ලැබීය. අද එම පඩිපාලක සභා දෙක රැස් වී හාම්පුතුන්ගේ විරෝධතා මැද බහුතර එකඟතාවයෙන් අවසාන තීරණය ගනු ලැබූ බවත්,ඒ අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය ඉතා කඩිනමින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කරන බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මෙම තීරණයත් සමඟම මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න සිය ශ්‍රමය වගුරන ලක්ෂ දෙකකට ආසන්න වතු කම්කරු ජනතාවකට විශාල ප්‍රතිලාභයක්, සහනයක් සැලසෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.