OPPO සිය 17 වන සංවත්සරය සමරයි

ස්මාර්ට් දුරකථන හා උපාංග සම්බන්ධ ලොව ප්‍රමුඛයෙකු වන OPPO 2021 සැප්තැම්බර් 17 වන දින සිය 17 වන සංවත්සරය සැමරී ය. පසුගිය දශකය තුළ OPPO සමාගම ස්මාර්ට් දුරකථන නිෂ්පාදන සමාගමක සීමාවෙන් ඔබ්බට ගොස් ස්මාර්ට් උපාංග ක්ෂේත්‍රයේ පුරෝගාමී නවෝත්පාදකයෙකු බවට පත්වීමටත්, සුවිශේෂී උපාංග පෙළක් ලොවට හඳුන්වා දීමටත් සමත් වී තිබේ. මේ වනවිට එම සමාගම උසස්ම ප්‍රමිතියෙන් යුත් අලංකාර නිෂ්පාදන රැසක් එළිදක්වමින්, තම ව්‍යාපාර කටයුතු ලොව පුරා ව්‍යාප්ත කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Xinda Lanka (පුද්.) සමාගමේ (OPPO Lanka) ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා මෙසේ පැවසී ය. “OPPO සමාගම 17 වන සංවත්සරය සමරන මේ මොහොතේ, ශ්‍රී ලාංකික OPPO පාරිභෝගිකයන් සහ රසිකයන් සියලු දෙනාටම මගේ ස්තූතිය පළකිරීමට මා කැමතියි. ඔවුන් නිසා නවෝත්පාදනය සම්බන්ධයෙන් අප තුළ ඇති උනන්දුව තව-තවත් වැඩිදියුණු වනවා. අපගේ ඉලක්කය වන්නේ ජාත්‍යන්තර තාක්ෂණයන් දේශීය පාරිභෝගිකයන් වෙත දිගින් දිගටම සමීප කරවීම සහ, උසස් තත්ත්වය ආරක්ෂා කරගනිමින් සහනදායී මිලගණන් යටතේ එම තාක්ෂණික නිෂ්පාදන මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබාදීමයි.”

මේ වනවිට OPPO සමාගම රටවල් සහ කලාප 50 කට පමණ තම අති-නවීන ස්මාර්ට් දුරකථන සහ අනෙකුත් උපාංග හඳුන්වා දී තිබේ. මෙම වසරේදී 5G, Imaging සහ VOOC Flash Charging යන තාක්ෂණයන්ට අදාළ සුවිශේෂී නව සොයාගැනීම් පෙළක් එළිදැක්වීමටද සමාගම කටයුතු කළේ ය. ෂැංහයි නගරයේදී පැවති 2021 Mobile World Congress හිදී Flash Charging හවුල්කරුවන් සඳහා සම්මන්ත්‍රණයක් පැවැත්වීමට OPPO කටයුතු කළ අතර, එහිදී උපාංග ආරෝපණය කිරීම, 5G සම්බන්ධතාව සහ ස්මාර්ට් තාක්ෂණය සම්බන්ධයෙන් නවෝත්පාදනයන් රැසක් එළිදක්වන ලදි.

එමෙන්ම 2021 වසරේදී ක්ෂේත්‍ර රැසක සමාගම් OPPO හි Flash වැඩසටහන සමග එක් විය. රථවාහන කර්මාන්තයේ FAW සහ Volkswagen, ජංගම චාජර් නිෂ්පාදකයෙකු වන Anker සහ චිප් නිෂ්පාදන සමාගමක් වන NXP Semiconductors මේ ආකාරයට OPPO සමාගමට පේටන්ට් බලපත්‍ර හිමි නිර්මාණ භාවිතා කිරීම සඳහා ගිවිසුම්ගත වී තිබේ.

Spatial Computing තාක්ෂණය ඔස්සේ Augmented Reality සංකල්පය නව මානයකට රැගෙන යන CybeReal නම් AR යෙදුම හඳුන්වා දීමටද OPPO මෑතකදී කටයුතු කළේ ය. එමෙන්ම 2021 OPPO Future Imaging Technology Launch වැඩසටහනේදී සෙන්සර්, මොඩියුල් සහ ඇල්ගෝරිදම් සම්බන්ධ නවතම හඳුන්වා දීම් රාශියක්ද එළිදක්වන ලදි.

2021 වසරේදී ලොව ප්‍රථම 5G SA-Compatible eSIM හඳුන්වා දීමටද OPPO සමත් විය. මෙමගින් ග්‍රාහකයන්ට 5G SA ජාල වලට සම්බන්ධ වී 5G අත්දැකීම විඳගැනීමට අවස්ථාව ලැබෙන අතර, ග්‍රාහකයන්ට මෙන්ම දුරකථන සමාගම් වලටද eSIM තාක්ෂණය භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ.

ස්මාර්ට් දුරකථන තාක්ෂණයන් වැඩිදියුණු කිරීම සඳහා දක්වන ලද සුවිශාල දායකත්වයන්ට අමතරව නවක කලාකරුවන් දිරිගැන්වීම සඳහා ‘Renovators 2021’වැඩසටහන සංවිධානය කිරීමටද OPPO කටයුතු කළේ ය. එපමණක් නොව, ජපන් ජාතික ගෘහ නිර්මාණ ශිල්පී කෙන්ගෝ කූමා සමග එක්වී සිදුකළ ‘Bamboo Ring – Weaving a Symphony of Lightness & Form’ නම් නිර්මාණය 2021 වසරේදී Creative Connections යන තේමාව යටතේ පැවති Milan Design Festival සඳහා ඉදිරිපත් කරන ලදි.

ශ්‍රී ලංකාවේදී උමාරියා සිංහවංශ සහ අනුෂ්ක උදාන ලියනගේ සමග එක්වී, රට තුළ ඇඳිරිනීතිය පනවා තිබූ අවස්ථාවක මෙරට ප්‍රථම පූර්ණ virtual සංගීත සැණකෙළිය පැවැත්වීමට OPPO කටයුතු කළේ ය. එය පැවති තත්ත්වය හමුවේ බොහෝ දෙනෙකුගේ සිත් වලට සතුට රැගෙන ඒමටත්, නිවෙස් තුළම රැඳී සිටීමට ඔවුන් පෙළඹවීමටත් දායක වූ වැඩසටහනක් විය. ඊට අමතරව නව නිෂ්පාදන පෙළක් මෙන්ම, පවතින තත්ත්වය හමුවේ පාරිභෝගිකයන් උපරිම පහසුවක් සැලසීම සඳහා විශිෂ්ට තලයේ අලෙවියෙන් පසු සේවාවන් එකතුවක්ද හඳුන්වා දීමට OPPO පියවර ගෙන තිබේ.