ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) නව සභාපති වශයෙන් නුවන් ගමගේ තෝරා පත් කරගනියි

පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී, නුවන් ගමගේ මහතා SLIM සභාපති ධූරයට පත්වූ අතර 2022/23 වසර වෙනුවෙන් නව කළමනාකාරීත්ව මණ්ඩලයක් හා විධායක කමිටුවක්ද එහිදී තෝරාපත් කරගන්නා ලදී.

SLIM 52 වසරක අභිමානවත් ගමන් මග තුළ 44 වැනි සභාපතිවරයා ලෙස පත්වූ නුවන් ගමගේ මහතා, Arinma Holdings හි ව්‍යාපාර සබඳතා සහ සන්නිවේදන අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන අතරම, ඔහු SLIM හි උප සභාපති තනතුර දරා ඇත. ඔහුට යටිතල පහසුකම් සංවර්ධනය, රූපලාවන්‍ය, විලාසිතා සහ අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රාශියක වසර 20කට වැඩි වෘත්තීය පළපුරුද්දක් හිමි අතර, උපායමාර්ගික අලෙවිකරණය, සන්නාම කළමනාකරණය, ඩිජිටල් අලෙවිකරණය, ජාත්‍යන්තර අලෙවිකරණය, ආයතනික සන්නිවේදනය සහ තිරසාරත්ව සංවර්ධනය පිළිබඳ විශේෂඥ දැනුමකින් නුවන් ගමගේ මහතා සන්නද්ධය.

මෙහිදී අදහස් දැක්වූ නුවන් ගමගේ මහතා මෙලෙස පවසා සිටියි. “ශ්‍රී ලංකාව වර්තමානයේ ආර්ථිකමය වශයෙන් විශාල අර්බුධයකට මුහුණ පා සිටින බව අප කවුරුත් දන්නා කාරණයක්. මෙම අර්බුධයෙන් මිදීමට නම් සියලුම පාර්ශවකරුවන් එකට එක්ව සහයෝගී ප්‍රවේශයක ගමන් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් දැනට රටතුල පවතිනවා. මෙහිදී අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව සන්නාමගත කරන්නේ කෙසේද යන්න, එසේත් නැත්නම් ගෝලීය තලය තුළ ශ්‍රී ලංකාව යන නාමයෙහි කීර්තිය අප කළමනාකරණය කරන්නේ කෙසේද යන්න මත අනාගත ආර්ථිකය තත්ත්වය බොහෝ සෙයින් තීරණය වෙනවා කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම, ධනාත්මක මෙන්ම ශක්තිමත් සන්නාමයක් නිර්මාණය කිරීම තුළින් අපට ආර්ථිකමය වශයෙන් වාසිදායක ආයෝජන රටට ගෙන්වා ගැනීමට, සංචාරක කර්මාන්තයන් සංවර්ධනය කර ගැනීමට, දේශීය නිෂ්පාදන සහ සේවා සඳහා හොඳ විදේශීය ඉල්ලුමක් නිර්මාණය කර ගැනීමට මෙන්ම, දක්ෂ ශ්‍රම සම්පත් නිර්මාණය කර ගැනීමට අවස්ථාව හිමිවෙනවා.”

අප රටේ ඉදිරි දියුණුව පිළිබඳ සළකමින් නව කළමනාකාරීත්ව මණ්ඩලය, විධායක කමිටුව හා එක්ව, අදාළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශවයන් හා අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ ඉහළින්ම ඔසවා තැබීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින්, රටේ සංවර්ධනය උදෙසා කැපවෙන බව හෙතෙම වැඩි දුරටත් පවසා සිටියි.

අලෙවිකරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ පිළිගත් ජාතික ආයතනය වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ දැක්ම වනුයේ ආර්ථික සමෘද්ධිය ඇතිකිරීම උදෙසා වූ ජාතියේ උත්සාහයන් හට අවශ්‍ය නායකත්වය ලබා දීමයි. මෙම දැක්ම වෙත ගමන් කිරීම සඳහා, ගමගේ මහතා විසින් කොටස් හයකින් යුත් උපායමාර්ගික සැලැස්මක් ඔහුගේ ධූර කාලය තුළ ක්‍රියාත්මක කිරීමට සුදානමින් සිටියි. එම සැලැස්මෙහි ප්‍රධාන අංශ වනුයේ, අනාගතයට ගැලපෙන අධ්‍යාපනය, ව්‍යවසායක අලෙවිකරණය, තිරසාර අලෙවිකරණය, ඩිජිටල් අලෙවිකරණය, පද්ධති, ජාතික මට්ටමේ පර්යේෂණ, සහ උපදේශනයයි.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ගමගේ මහතා විශ්වාස කරන්නේ රටේ අනාගතය ස්ථාවර කිරීමට කුසලතා අත්‍යවශ්‍ය වන බවත්, මෙහිදී කුසලතා සංවර්ධනය වෙනුවෙන් දැනුම, පුහුණුව ලබාදීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්ය. තවද, ආරම්භක ව්‍යාපාර සංවර්ධනය උදෙසා අවශ්‍ය අරමුදල් සම්පාදනය, උපදේශ සේවා සහ පුහුණුව ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළින් ආර්ථිකයට අත්‍යවශ්‍ය සාර්ථක ව්‍යවසායන් නිර්මාණය කළ හැකි බව හෙතෙම විස්වාස කරයි.

හරිත වෙළඳ නාම ඇගයීම් අනුකෘතියක් සහ පිළිගැනීම් රාමුවක් (green brand evaluation matrix and accreditation framework) සංවර්ධනය කිරීම තුළින්, ශ්‍රී ලංකාව තුළ තිරසාර අලෙවිකරණ භාවිතයන් ආරම්භ කිරීමද ඔහුගේ අභිප්‍රයාකි. මෙය තිරසාර භාවිතයන් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලාංකේය ආයතන දිරිමත් කරන අතර ප්‍රජාව අතර තිරසාර පරිභෝජනය දිරිමත් කරනු ඇත.

තවද ඔහු විස්වාස කරනුයේ, රට තුළ ශක්තිමත් ඩිජිටල් අලෙවිකරණ පද්ධතියක් නිර්මාණය කිරීම, අනාගත ව්‍යවසායකය න්හි සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වන බවයි. විශේෂයෙන්ම ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ව්‍යාපාර සඳහා සංවර්ධනය වීමට විශාල ඉඩකඩක් ලබාදී ඇති බවත්, කොරෝනා වසංගත තත්ත්වයේ ආරම්භයත් සමග බොහෝ ව්‍යාපාරයන් සිය ඩිජිටල් ක්‍රම අත්හදා බැලීමට පෙළඹුණු බවත් හෙතෙම පවසා සිටියි.

ජාතික මට්ටමේ පර්යේෂණ සහ උපදේශනය, දැනුම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමට විශාල දායකත්වයක් සපයන බව ගමගේ මහතා විශ්වාස කරයි.තවද , අමාත්‍යාංශ සහ රාජ්‍ය ව්‍යවසායන් සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය සහ උපාය මාර්ග සැකසීම සහ පර්යේෂණවල නියැලීම රටේ ආර්ථික ස්ථාවරත්වය බෙහෙවින් ඉහළ නංවන බව ඔහු විශ්වාස කරයි. මිනිසුන්ට සහ ව්‍යාපාරිකයින්ට සංචාරය කිරීමට පමණක් නොව ආයෝජනය කිරීමට සහ සාමකාමීව ජීවත් විය හැකි ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවල් වෙත ගොඩනැගීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බැවින්, ඒ සඳහා සිය උපරිම දායකත්වය ලබාදීමට ගමගේ මහතා බලාපොරොත්තුවෙන් පසුවේ.