බිස්කට් මිල ඉහලයාම ගැන රසකැවිළි නිෂ්පාදකයන්ගේ සංගමය පහදයි

අමුද්‍රව්‍යවල මිල ඉහළයාමට සාපේක්ෂව සිය නිෂ්පාදනවල මිල ඉහළ දමා නොමැති බවත්, සියයට සියයක් දේශීය ව්‍යවසායකයින්ගෙන් සමන්විත සිය කර්මාන්තය තුළ මිල ඉහළ දැමීම් සිදු කර ඇත්තේ ලාභය ඉතා අවම වන ආකාරයට බවත් ලංකා රසකැවිළි නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.


පසුගිය කාලයේදි රසකැවිළි නිෂ්පාදනය සදහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල සියයට දෙසීයකට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන බවද රසකැවිළි නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කරයි.
රස කැවිළි නිෂ්පාදනය සදහා යොදා ගන්නා ප්‍රධානම අමුද්‍රව්‍ය වන තිරිගුපිටි කිලෝවක මිල රැපියල් 77 සිට රුපියල් 290 දක්වා සියයට 277කින් ඉහළ ගොස් ඇත. සීනි කිලෝවක මිල රුපියල් 114 සිට රුපියල් 320 දක්වා සියයට 180කින්ද, එළවළු තෙල් මිල රුපියල් 475 සිට රුපියල් 1400 දක්වා සියයට 195කින්ද ඉහළ ගොස් තිබේ. එහෙත් එයට සාපේක්ෂව බිස්කට් මිල ඉහළ දමා ඇත්තේ රුපියල් සියයේ සිට රුපියල් 271 දක්වා සියයට 171කින් පමණක් බවද ලංකා රස කැවිළි නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කරයි.


රටේ ඩොලර් අර්බුදයක් ඇතිව තිබෙන අවස්ථාවකදීත්, දේශීය වෙළදපොල ඉලක්ක කරගන්නා අතරවාරයේදී අපනයන වෙළදපොල සදහාද නිෂ්පාදන යොමු කරමින් රටට ඩොලර් ගෙන ඒමට රස කැවිළි නිෂ්පාදකයින්ගේ සංගමයට සම්බන්ධ දේශීය කර්මාන්තකරුවන් කටයුතු කරමින් සිටී. මේ වන විට සංගමයේ සාමාජික ආයතනවල නිෂ්පාදන රටවල් පනහකට අපනයනය කරන අතර එමගින් වාර්ශිකව ඇමරිකානු ඩොලර් මිලියන 150ක ආදායමක් රටට ලබාදේ.


වසරක් වැනි කාලයක් තුළ අමුද්‍රව්‍යවල මිල සීඝ්‍ර ලෙස ඉහළ යෑමත් සමඟ ඊට සාපේක්ෂව යම් මුදලකින් බිස්කට් නිෂ්පාදනයන්හි මිල වැඩි කිරීමක් සිදුකළ අතර ඇතැම් පිරිසක් එය හුවා දක්වමින් සිය නිෂ්පාදන මිලදී නොගන්නා ලෙස ප්‍රචාරණයන් සිදුකරමින් සිටින බවත් පාරිභෝගිකයන් එලෙස නිෂ්පාදන මිලදී නොගතහොත් කර්මාන්තශාලා වැසී යාමේ තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එම සංගමය කියයි.


එසේ කර්මාන්තශාලා වැසී ගියහොත් එහි සේවයේ යෙදෙන සෘජු රැකියා 50000ක් හා වක්‍ර රැකියා ලක්ෂ 05ක් පමණ නැතිවී යා හැකි බව පවසන එම සංගමය ඉන් එම සේවකයන් පමණක් නොව ඔවුන්ගෙන් යැපෙන්නන්ද අන්ත අසරණ තත්ත්වයකට පත්වන බව සඳහන් කරයි. ලංකාවේ සිල්ලර වෙළදසැල් එක්ලක්ෂ පනස්දහසක වෙළදාමෙන් සියයට 15ත් 20ත් අතර ආදායම ලබාදෙන්නේ රස කැවිලි නිෂ්පාදනය බවද ලංකා රස කැවිළි නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දෙයි. ඒ අතරම රස කැවිළි නිෂ්පාදන ආයතන විසින් වසරකට විශාල බදු මුදලක් රජයට ගෙවනු ලබයි.
මේ වන විට 20000කට වැඩි ගොවීන් පිරිසක් දේශීය රසකැවිළි නිෂ්පාදකයන් සමඟ සෘජුවම සම්බන්ධ වී ඔවුන්ගේ නිෂ්පාදන ලබාදෙන බවත් යම් හෙයකින් මෙම කර්මාන්තයට බලපෑමක් එල්ල වුණහොත් ඔවුන්ට ද සිය නිෂ්පාදන විකුණාගත නොහැකි වන බවත් එම සංගමය පවසයි.


පසුගිය කාලයේ පැතිරී ගිය කොරෝනා වසංගතය හා වර්තමානයෙහි රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා එල්ලවන පීඩනය අනෙක් කර්මාන්තවලට මෙන්ම රසකැවිලි කර්මාන්තයට බලපෑ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අමුද්‍රව්‍ය වල මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් එසේ තිබියදීත් අනෙක් ආහාර ද්‍රව්‍යවලට සාපේක්ෂව බිස්කට් මිල හැකිතාක් අඩුවෙන් පවත්වාගෙන යෑමට කර්මාන්තකරුවන් මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් එම සංගමය පවසයි.


එම සංගමය වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.
අප සංගමයත් එක්ක දේශීය නිෂ්පාදකයන් 30 දෙනෙක් පමණ ඉන්නවා. මෙහි කර්මාන්තවල නියැළි සිටින හිමිකරුවන් සියයට සියක්ම දේශීය හිමිකරුවන්. ඒ නිසා මෙහි එක සතයක් විදේශවලට ඇඳි යන්නේ නැහැ. අපි කිසිම වෙලාවක අපේ පාරිභෝගිකයට අසාධාරණයක් වෙන විදියට වැඩ කරලා නැහැ. කොරෝනා වසංගතය කාලයේදී අපි එහි පීඩනය දරාගෙන කිසිඳු මුදලක් වැඩි නොකර අපේ නිෂ්පාදන පාරිභෝගිකයට ලබාදෙන්න කටයුතු කළා. එහෙත් මේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයත් එක්ක එහි පීඩනය, බලපෑම අපිට තදින් දැනුනා. ඒ නිසා අපිට අවශ්‍ය වුණේ මෙම කර්මාන්ත වසා දමන්නේ නැතුව කොහොම හරි පවත්වා ගෙන යන්න. ඒ නිසයි යම් මුදලක් වැඩි කළේ. අනෙක් නිෂ්පාදන සියල්ලත් මේ වන විට දැවැන්ත ලෙස වැඩි කරමින් තිබෙනවා. අපි එහෙත් කිසිම වෙලාවක අසාධාරණ ලෙස වැඩි කිරීම් කරලා නැහැ. ඇතැම් පිරිසක් මෙම කර්මාන්තය බිඳ වැට්ටීමේ අරමුණින්න තමයි මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙනියන්නේ.එම නිසා අප ජනාධිපතිවරයගෙන්, අගමැතිවරයගෙන්, මුදල් ඇමැතිවරයගෙන් වගේම අනෙක් සියලූම ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කර්මාන්ත කඩාවැටීමට ඉඩ නොදී පවත්වා ගෙන යෑමට අවශ්‍ය සහය ලබා දෙන්න කියලා.