ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව ‘තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන ආයෝජක සිතියම’ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින්, මෙරට තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා සිය ප්‍රාග්ධනය යෙදවීමට අරමුණු කරන පෞද්ගලික අංශය වෙත අවශ්‍ය සහයෝගය ලබා දීම වෙනුවෙන් ‘තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන ආයෝජක සිතියම’ පසුගිය දා එළිදැක්වීය. රජයේ ප්‍රතිපත්ති හා වෙළෙඳපොළ අවස්ථා සමබර ලෙස කළමනාකරණය කරමින්, රට තුළ තිරසාර ආර්ථිකයක් ගොඩනැගීමේ දී මෙම තිරසාර සංවර්ධන ඉලක්ක මගින් ඒ සඳහා මාර්ගෝපදේශයන් ලබා දෙන මේ සුවිශේෂී සිතියම නිර්මාණය කෙරුණේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගිනි.

අනෙකුත් බොහෝ රටවල මෙන් ම, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද COVID-19 වසංගතය බලපෑවේ, 2020 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3.6% කින් පහත හෙළමින් සහ රටට ඩොලර් ගෙන එන ප්‍රධාන මූලාශ්‍රයක් වන සංචාරක කර්මාන්තය සැලකිය යුතු ලෙස අඩපණ කරමිනි. වර්තමානය වන විට අර්බුදයට ලක් ව ඇති ශ්‍රී ලංකාව, ඖෂධ, ඉන්ධන හා ආහාර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට මෙන් ම සිය ණය වාරික ගෙවීම සඳහා ද විකල්ප විසඳුම් ගොඩනඟමින් සිටී. එමෙන් ම ශ්‍රී ලංකා රජයේ ප්‍රධානතම ඉලක්කයක් වී ඇත්තේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 140%ක් බවට පත් වී ඇති වත්මන් රාජ්‍ය ණය ප්‍රමාණය 2032 වසර වන විට 100% ට වඩා අඩු මට්ටමකට ගෙන ඒමයි.

ශ්‍රී ලංකාව සිය සමස්ත ආර්ථිකය ස්ථාවර කිරීමට සහ බාහිර ණය ප්‍රතිව්‍යූහගත කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පෞද්ගලික ප්‍රාග්ධනය, සෘජු විදේශ ආයෝජන, විකල්ප මූල්‍ය සේවාවන් සහ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයන් අත්‍යවශ්‍ය වේ. හරිත සංවර්ධනය, කාන්තා ආර්ථිකය සවිබල ගැන්වීම, සමාජ යටිතල පහසුකම් සංවර්ධනය (උදාහරණ: සෞඛ්‍යය) ආදී සාමාජීය හා පාරිසරික අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් මෙම අරමුදල් භාවිත කිරීමේ දී තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ ආයෝජක සිතියම බෙහෙවින් වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් තත්ත්වයට ගෙන ඒමේ ක්‍රියාවලිය වේගවත් කරමින් එය සාර්ථකව ඉදිරියට ගෙන යාමට මෙම සිතියම සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන අතර, එය පහත අයුරින් භාවිත කළ හැකිය.
● දේශීය ජනතාවට සහ පරිසරයට ප්‍රතිලාභ ලබා දෙමින්, ශ්‍රී ලංකාව ආයෝජන ගමනාන්තයක් ලෙස ගවේෂණය කිරීමට කැමති ආයෝජකයින්ට.
● අන්තර්ගත ආකෘති වෙත තම ව්‍යාපාරික උපාය මාර්ග සකස් කිරීමට සහ ඒ වෙනුවෙන් වෙළෙඳපොළ බුද්ධිය සහ ආයෝජන තාර්කිකව භාවිත කරන ව්‍යවසායන්ට.
● පෞද්ගලික අංශයට ප්‍රවේශ වීමට ඇති බාධක සඳහා විසඳුම් ලබා දෙමින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සක්‍රීය කිරීම සඳහා සුදුසු පරිසරය ගොඩනැගීමට අපේක්ෂා කරන රාජ්‍ය ආයතන.

තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ ආයෝජක සිතියම, 2030 වනවිට සපුරාගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් සඳහා වන සම්බන්ධීකරණය, පහසුකම් සැලසීම, අධීක්ෂණය, ඇගයීම හා වාර්තා කිරීම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන කවුන්සිලය අතර පවතින ශක්තිමත් සහයෝගීතාවේ ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන ප්‍රවර්ධන නියෝජිතායතනය වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ ආයෝජක සිතියම සංවර්ධනය කිරීමේ දී යෙදවුම් සහ වලංගුකරණය ලබා දීමට කටයුතු කළ අතර, එම සිතියම දියත් කිරීමේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ද හඳුන්වා දිය හැකිය. ද්විතීයික පර්යේෂණ ක්‍රමවේදය හරහා මෙන්ම 50කට අධික රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සමග පැවිති උපදේශන අවස්ථා තුලින් ලබාගත් විස්තර වලට අනුව, පුනර්ජනනීය බලශක්තිය, සෞඛ්‍ය ආරක්ෂණය, යටිතල පහසුකම්, ආහාරපාන සහ පාරිභෝගික භාණ්ඩ යන ප්‍රමුඛතා අංශ 5ක් යටතේ ව්‍යාපාරික ආකෘති ආවරණය වන ආයෝජන අවස්ථා 15ක් (IOAs) මෙම ආයෝජක සිතියම තුලින් හඳුනාගෙන ඇත.

මෙම අවස්ථාවේ දී, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෞද්ගලි අංශයෙන් ඉල්ලා සිටියේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට යාමේ දී ව්‍යාපාරවලට හා ආයෝජකයින්ට අන්තර් සම්බන්ධිත ආර්ථික, සාමාජීය සහ පාරිසරික බලපෑම් ප්‍රශස්ත කිරීම සඳහා ස්වාධීන සහ ගෝලීය කළමනාකරණ ප්‍රමිතීන් අනුගමනය කරන ලෙසයි. ඉදිරියට එන තිරසාර සංවර්ධන ඉලක්ක බලපෑම් සම්බන්ධ ප්‍රමිති සහතික කිරීමේ රාමුව සහ තිරසාර සංවර්ධන ඉලක්ක බලපෑම් මුද්‍රාව මගින්, බලපෑම් සම්බන්ධ අවදානම අඩු කරමින් තිරසාරත්වයට ධනාත්මක ලෙස දායක වීමට වැඩි ඉඩක් ඇති ආයෝජකයින් සහ ව්‍යවසායන් හඳුනා ගැනීම සිදුකරයි.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඩබ්. ඒ. සරත් කුමාර මහතා ප්‍රකාශ කළේ, “වසර ගණනාවක් පුරා තිරසාර සංවර්ධන ඉලක්කවලට අනුකූලව ජාතික ප්‍රතිපත්ති, සංවර්ධන සැලසුම් සහ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ දී එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැඩි ලෙස කැපවෙලා තිබෙනවා. තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා මුදල් ආයෝජනයට අවශ්‍ය අතිරේක සම්පත් උත්පාදනය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඒකාබද්ධ කිරීම වෙනුවෙන් නව්‍ය මූල්‍යකරණ යාන්ත්‍රණයන් අත්‍යවශ්‍යයි. ඒ නිසා තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ ආයෝජක සිතියම, ආයෝජකයින්ට අතිරේක ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් අවශ්‍ය වෙළෙඳපොළ තොරතුරු ලබා දෙන කාලෝචිත මැදිහත්වීමක්.”

තිරසාර ආර්ථිකයක් ගොඩනගාගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ ආයෝජක සිතියම දක්වන සහයෝගය කෙබඳුදැයි අවධාරණය කරමින්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය පැවසුවේ, “ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ක්ෂණික බලපෑම් අවම කිරීමට හා රටේ දිගුකාලීන තිරසාර සංවර්ධනය සහතික කිරීමට සමස්ත සමාජය ම කැප විය යුතුයි. ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ ආයෝජක සිතියම පෞද්ගලික අංශයේ ආයතනවලට ඔවුන්ගේ ආයෝජන තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් ලබා දීම වැඩි කිරීම සඳහා ඉතා ශක්තිමත් මාර්ගයක් නිර්මාණය කර දෙනවා. එය 2023 – 2027 කාලවකවානුව වෙනුවෙන් මෑතක දී දියත් කරන ලද, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගීතා රාමුව සම්පූර්ණ කරනවා.”

මේ පිළිබඳව අදහස් දක්වමින් තිරසාර සංවර්ධන කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු මෙනවිය ප්‍රකාශ කළේ, ” තිරසාර සංවර්ධනය පිළිබඳ වූ 2030 න්‍යාය පත්‍රයේ සාර්ථකත්වය සඳහා මේ හවුල්කාරිත්වය ඉතා හොඳ සහයක් ලබා දෙනවා. තිරසාර සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමේ දී සෑම පාර්ශ්වකරුවෙකුට ම ආවේණික විශේෂ ශක්තීන් තිබෙනවා. තිරසාර සංවර්ධන ඉලක්කයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයෝජක සිතියම නිර්මාණය කිරීමේ දී තිරසාර සංවර්ධන කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතර හවුල්කාරිත්වය හා සහයෝගීතාව ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන මූල්‍ය අවශ්‍යතා පියවා ගැනීමට උපකාරී වන නව්‍ය විසඳුමක් විදියට හඳුන්වා දීමට පුළුවන්. ” යනුවෙනි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි කාර්ය භාරය ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන භාර නිලධාරිණී මලින් හර්විග් මහත්මිය අදහස් දක්වමින්, “මෙම තීරණාත්මක අවස්ථාවේ දී තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ ආයෝජක සිතියම මඟින් ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන ආයෝජන අවස්ථා පිළිබඳ අපට ඉතා හොඳ දැනුවත් භාවයක් ලබා දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා රජය සමඟ එක්ව, මෙම සිතියම හරහා සංවර්ධන හවුල්කරුවන්ට, ජාත්‍යන්තර මූල්‍ය ආයතවලට සහ පෞද්ගලික අංශයේ ආයෝජකයින්ට රට ප්‍රකෘතිමත් කිරීමට සහ තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා දායක වීමට මුල්‍ය විසඳුම් ලබා දීම වෙනුවෙන් එක්වන ලෙස ඉල්ලා සිටිනවා” යනුවෙන් පැවසුවේය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ SDG Impact හි අධ්‍යක්ෂිකා ෆැබියෙන් මිශෝ මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. ” ශ්‍රී ලංකාව පවතින තත්ත්වයෙන් මුදාගැනීම සඳහා තිරසාරභාවය සහ තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් ආයෝජනය සඳහා පෞද්ගලික අංශයට විශාල අවස්ථාවක් තිබෙනවා. ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වන ආයෝජක සිතියම මේ සඳහා සුදුසු අංශ හඳුනා ගැනීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරන බව පැවසිය යුතුමයි. මේ හා සම්බන්ධ වන පෞද්ගලික අංශයට ඔවුන්ගේ බලපෑම කළමනාකරණය කර ගැනීමට මඟ පෙන්වන ප්‍රමිතීන් අනුගමනය කිරීමට වගේ ම, රටට වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමටත් අවස්ථාව සළසනවා.”