ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 60 දෙනෙකු සවිබල ගැන්වූ වගයි

උත්කර්ශවත් සමාරම්භයක් ලබමින් මධ්‍යම සහ ඌව පලාත් ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 60 දෙනෙකු, The Pekoe Trail වැඩසටන හරහා තම ආර්ථික සංවර්ධනයට නව ව්‍යාපාර සහ නවෝත්පාදන උපායමාර්ග එළි දැක්වීමේ වැඩසටහනක් දරවැල්ල සමාජශාලා (Darrawella Club) පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙම ව්‍යවසායීය නිපුණයන්, The Pekoe Trail Business Incubator වැඩසටහන හරහා පෝෂණය වූ අතර, කිලෝමීටර තුන්සීයක් හරහා දිව යන මෙම සංචාරක ඇවිදින මංපෙත හරහා තම නව නිපැයුම් සහ නව්‍ය ව්‍යාපාර ක්‍රමවේදයන් හරහා නව රැකියා උත්පාදනය, නව ආයෝජන අවස්ථා පිළිබඳව තම ව්‍යාපාර සැලසුම් සංචාරක අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ප‍්‍රාදේශීය වැවිලි සමාගම් හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) යන ආයතනයන් නියෝජනය කරමින් පැමිණි දෙස් විදෙස් ආරාධිතයන් වෙත ඉදිරිපත් කිරීම සිදු කරන ලදී.


The Pekoe Trail Business Incubator වැඩසටහන යුරෝපා සංගමයේ (European Union) මූල්‍යාධාර හරහා ක්‍රියාත්මක වන Tourism Resilience Project (TRP) ව්‍යාපෘතියේ තාක්ෂණික අංගයක් වන අතර, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) හි අමතර සහයෝගයද හිමි ව ඇත. මෙම Pekoe Trail Business Incubator වැඩසටහන හරහා සංචාරක ඇවිදින මංපෙත දෙපස සහ අවට ඇති දැනට පවතින සහ නව සංචාරක කර්මාන්තය හා බැඳි ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය පුහුණුව, ව්‍යාපාරික උපදේශන සේවාවන් සහ දිරිගැන්වීමේ සේවාවන් ලබා දීම සිදුකරයි. මෙමඟින් ව්‍යාපාර වල උසස් තත්ත්වයේ නිෂ්පාදන හා සේවා සළසා ගැනීමේ ප්‍රවනතාවයන් ඉහළ නැංවීම, පාරිසරික, සමාජයීය හා ආර්ථික වශයෙන් තිරසාර රැකියා අවස්ථා උත්පාදනය, ග‍්‍රාමීය ආර්ථික සංවර්ධනය සඳහා වන අවස්ථාවන් නිර්මාණය කිරීම යන අරමුණු සාක්ෂාත් කරගැනීමට දායකත්වය දක්වයි. ව්‍යාපාර සංවර්ධනය සහ උපදේශන සේවයේ ප්‍රමුඛයන් වන Gadfly Innovation ආයතනයේ තාක්ෂණික සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.


2023 පෙබරවාරි මාසයේදී ආරම්භ කරනු ලැබූ The Pekoe Trail Business Incubator වැඩසටහන හන්තාන, හැටන්, හපුතලේ සහ නුවරඑළිය යන ප‍්‍රදේශයන්හිදී වැඩමුළු සංවිධානය කරමින් සංචාරක ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 112ක් දැනුවත් කිරීම සිදු කරන ලදී. මෙම වැඩමුළු හරහා වෙනස්වන සුළු ආර්ථිකය තුල ව්‍යාපාරයක් පවත්වාගෙන යාම, පාරිභෝගික අත්දැකීම්, තිරසාර ව්‍යාපාරික භාවිතයන් හා සංචාරක අලෙවිකරණය වැනි මාතෘකා රැසක් සාකඡ්චාවට ලක් වුනු අතර, නව ව්‍යාපාරික පරිවර්තනයන් සහ අදහස් දැක්වූ නිපුණ ව්‍යවසායකයින් 60 දෙනෙකු වැඩිදුර ව්‍යාපාරික සංවර්ධන උපදේශන පුහුණුව සඳහා සම්බන්ධ කර ඔවුන්ගේ ව්‍යාපාරික පරිවර්තනයන් දරවැල්ල සමාජශාලා (Darrawella Club) පරිශ්‍රයේදී පැවති වැඩසටහනේ ප්‍රදර්ශනය කරන ලදී.


යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකා සහ මාලදිවයින නියෝජිත සහයෝගීතා ප‍්‍රධානී ආචාර්ය ජොහෑන් හෙසී (Dr. Johann Hesse) මහතා උත්සව සභාව අමතමින් “මෙම පළමු පුහුණු ව්‍යවසායක කණ්ඩායම තුළින් ආර්ථික වර්ධනය සඳහා The Pekoe Trail සංචාරක ඇවිදින මංපෙතෙහි ඇති ඉහළ හැකියාව ග‍්‍රාමීය ජනතාව වෙත මනාසේ ලඟාකර දීමට හැකිවී තිබෙනවා. මෙවැනි නව සංකල්පයන් වෙත අරමුදල් සැපයීම තුළින් ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම සහ ඒ හා බැඳි ව්‍යාපාරයන් සිදුකරන ජනතාවගේ දිගුකාලීන ආර්ථික දියුණුව සඳහා සහයෝගය ලබා දීමටද යුරෝපා සංගමය කැපවී කටයුතු කරනවා’’ යනුවෙන් පවසන ලදී.


උත්සව සභාව අමතමින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) නියෝජනය කරමින් සපැමිණි එහි ආර්ථික කාර්යාලයීය නියෝජ්‍ය අධ්‍යක්ෂ ගරු ඩෙනිස් වෙස්නර් (Mr. Dennis Wesner) මහතා “සංචාරක නව්‍යකරණ වැඩසටහනකට එහා ගිය වැඩසටහනක් වන The Pekoe Trail සංචාරක ඇවිදින මංපෙත් ව්‍යාපෘතිය මධ්‍යම සහ ඌව පළාත්වල දුෂ්කර ප‍්‍රදේශයන්හි වෙසෙන ජනතාවගේ ආර්ථික දියුණුව ඉහළ නැංවීම වෙනුවෙන්ම නිර්මාණය වුන සුවිශේෂී වැඩසටහනක් ලෙස පෙන්වා දිය හැකියි. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ඔස්සේ මෙතෙක් සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රතිලාභ අත් නොවිඳි, නමුත් එම ප‍්‍රදේශයන්හිම ජීවත් වන ජනතාවගේ ධනාත්මක ආර්ථික පරිවර්තනයක්, ආර්ථික දියුණුවක් ඇති කිරීම සඳහා මෙම වැඩසටහන මඟින් දායකත්වය දැක්වීමට ලැබීම පිළිබඳව USAID ආයතනය ඉතාමත් සතුටට පත් වෙනවා. මෙම ප‍්‍රදේශයන්හි බොහෝ ව්‍යවසායකයින් තම ව්‍යාපාර පවත්වාගෙන යාමට හෝ නව ව්‍යාපාර ආරම්භ කිරීමට පදනමක් ලෙස මෙම Pekoe Trail සංචාරක ඇවිදින මංපෙත් වැඩසටහන උපයෝගී කරගනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් පැවසීය.


කිලෝමීටර තුන්සීයක් හරහා දිවයන සංචාරක ඇවිදින මංපෙතක් ලෙස නිර්මාණය කෙරුණු Pekoe Trail වැඩසටහන හරහා ශ‍්‍රී ලංකාව මානසික තෘප්තිය, ස්වභාව සෞන්දර්ය මත පදනම් වූ හරිත සංචාරයන් සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් ඉහළ කතාබහකට ලක්වී ඇත. සංචාරකයින් හට විවිධ භූමි ප‍්‍රදේශ, ඉතිහාසය, සංස්කෘතිය, දේශීය ආහාර පාන සහ ප‍්‍රාදේශීය ප‍්‍රජාවන් සහ විශ්වාසයන් පිළිබඳව කෙටි හෝ බහු දින අත්දැකීම් ලැබීමේ අවස්ථාවක් ලෙස ගවේෂණය කිරීමේ අවස්ථාව උදාකරමින් දෙන The Pekoe Trail, 2023 නොවැම්බර් මාසයේ සිට දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් විවෘත වීමට නියමිතය.