ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් බලගැන්වීමට ක්‍රියාත්මක කළ පුහුණු පාඨමාලාවන්හි සහතික පත්‍ර ප්‍රදානය කරයි

ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් බලගැන්වීමේ අරමුණින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් කර්මාන්ත අමාත්‍යාංශය, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදාතා ඒකකය, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය හා පේෂකර්ම දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කළ පුහුණු පාඨමාලාවන් සාර්ථකව නිමකළ පුහුණුලාභීන් හට සහතිකපත්‍ර ප්‍රදානය කිරීම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (18දා) රත්මලාන ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයේදී පැවැත්වින.

ඒ අනුව කාන්තා පාවහන්, තිර මුද්‍රණය, ළමා ඇදුම්, සාරි ජැකට්, ටී ෂර්ට්, මැසීමේ ක්‍රමවේදයන්හි තත්වය ඉහළ නැංවීම යන පාඨමාලා 6 හැදෑරූ පුහුණුලාභීන් 90 ක් සදහාත් පේෂකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන පේෂකර්ම පාසැල් වල උපදේශිකාවන් සදහා ක්‍රියාත්මක කළ නිමි ඇදුම් නිර්මාණකරණය හා නිෂ්පාදන ප්‍රවර්ධනය පිළිබද පාඨමාලාව නිමකළ උපදේශිකාවන් 15 දෙනෙක් සදහාත් වන ලෙස මුළු පුහුණුලාභීන් 105 දෙනෙක් සදහා සහතිකපත්‍ර ලබාදෙන ලදී. ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරාගත් මෙම වැඩසටහන වෙනුවෙන් සම්පත් දායකත්වය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය සිදුකළ අතර පුහුණුලාභීන් තෝරාගැනීම හා ඔවුන්ගේ ආහාරපාන හා නවාතැන් සදහා වන මූල්‍යමය සහය විදාතා ඒකකය විසින් ලබාදෙන ලදී.

ශ්‍රී ලංකාවේ ඇගළුම් හා පේෂකර්ම ක්ෂේත්‍රයේ ඇති විශීෂ්ඨතම පුහුණු ආයතනය වන ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යාපාර පුළුල් කිරීම හා සංවර්ධනය කිරීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හා ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයේ සභාපතිනි නන්දනී සමරවික්‍රම, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් A. ලක්කදාස්, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් තරංග නලීන් ගම්ලත්, පේෂකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සේනානි සෙනෙවිරත්න, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයේ නිලධාරීන් , විදාතා ඒකකයේ නිලධාරීන්, පේෂකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.