විදේශීය සංචාරකයින් සදහා පමණක් වන අවන්හල් සහ හෝටල් සඳහා තහනමක්

දේශීය සංචාරකයින් නොමැතිව , විදේශීය සංචාරකයින් සදහා පමණක් අවන්හල් සහ හෝටල් පවත්වා ගෙන යන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

එවැනි අවස්ථාවක ආයතනයක්  වැරදිකරු වුවහොත් එවැනි ආයතනවල බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගන්නා බවත්, එම ප්‍රදේශවල නව බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා බවත් සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය.

“විදේශිකයින්ට පමණයි’ ප්‍රතිපත්තිය යටතේ හික්කඩුව සහ අරුගම්බේ යන ප්‍රදේශවල ඇතැම් අවන්හල් සහ හෝටල්වලට ඇතුළුවීමට ඉඩ නොදෙන බවට දේශීය සංචාරකයින් විසින් පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, එලෙස දේශීය සංචාරකයින්ට වෙනස්කම් කරන හෝටල් හා අවන්හල් වලට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගන්නා බවද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය කියා සිටියාය.

අපේ ව්‍යවස්ථාවෙන් සියලුම පුරවැසියන්ට සමාන අයිතියක් ලබා දී ඇති බවත් , ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ එවැනි හේතුන් මත කිසිදු පුද්ගලයෙකුට සාප්පු, පොදු අවන්හල්, හෝටල්, පොදු විනෝදාස්වාද ස්ථාන වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් කිසිම කොන්දේසියකට යටත් වීමට අවශ්‍යතාවයක් නැතැයිද කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.