16 වන රයිගම් ටෙලීස් උළෙල 2020 මාර්තු මස 21 වන දා

2020 මාර්තු මස 21 වන දින සන්ධ්‍යාවේදී කොළඹ නෙළුම් පොකුණ රගහලේදී 16 වන වැනි රයිගම් ටෙලීස් උළෙල පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම උළෙලට පූර්වගාමීව පැවැත්වෙන නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල 2020 පෙබරවාරි මස 28 වන දින සන්ධ්‍යාවේදී කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත්වේ.

රයිගම් ටෙලීස් උළෙලේ මෙවර තේමාව ”නිදහසේ 16” යන්නයි. ඉන් කියැවෙන්නේ කිසිදු බලපෑමකින් හෝ බැදීමකින් තොරව නිදහසේ පැවැවෙන මෙම උළෙලේ දහසය වන පියවර තබන බවයි.

16 වන රයිගම් ටෙලීස් උළෙල සදහා අයදුම්පත් හා නිර්මාණ  දැන් භාර ගැනේ.

ගෙවුනු වසරක රූපවාහිනී අස්වැන්න මෙපමණ කෙටි කාල පරාසයකදී ඇගයීම හා සම්මාන උළෙලක් සංවිධානය කිරීම කොපමණ අභියෝගාත්මක වූවද, රයිගම් ටෙලීස් වසරක් ගෙවී මාස 3ක් ඇතුලත පැවත්වීමට  තීරණය කළේ පුංචි තිරය ඔස්සේ රස විදි නිර්මාණයන්හි උණුසුම වියැකෙන්නට පෙර, ඒවා ඇගයීම නිර්මාණකරුවන්ටත් එ්වා රස විදි ප්‍රේක්ෂකයන්ටත් එක හා සමාන වැදගත් කමක් හා රසයක් දනවන හෙයිනි. 

ගෙවුනු වසර සදහා පවත්වන සම්මාන රාත‍්‍රිය ප‍්‍රථම කාර්තුව තුළදීම පවත්වන්නට ශ‍්‍රී ලංකාවේ කිසිදු සම්මාන උළෙලකට කළ නොහැකි විය. ජාත්‍යන්තර වශයෙන්ද මෙම අභියෝගය ජය ගෙන ඇත්තේ ඔස්කාර් සහ ග‍්‍රෑමී පමණි. මෙම අභියෝගය ජය ගැනීමත් සමග රයිගම් ටෙලීස් තවත් පියවරකින් ජාත්‍යන්තර ප‍්‍රමිතියට සමීප වී ඇත.

‘‘රයිගම් ටෙලීස්’’  16 වන සම්මාන උළෙල සඳහා ආරම්භය සනිටුහන් කරන බව, ශ්‍රී ලාංකික රූපවාහිනී ප්‍රේක්‍ෂකයන්, නිර්මාණ ශිල්පීන් ඇතුළු සමස්ත ජනතාව වෙත ඉතා ආඩම්බරයෙන් නිවේදනය කර සිටී. රයිගම් ටෙලීස් සම්මාන උළෙල මේ වන විට දශක එකහමාරක ඉතිහාසයකට උරුමකම් කියයි. එය සංවිධායකවරුන්ට දීර්ඝ අත්දැකීමකි. සම්මාන ලාභීන්ට බලාපොරොත්තුවකි.

මෙපමණ කාලයක් පුරාවට අඛණ්ඩව ඉහළම තත්වයේ සම්මාන උළෙලක් පැවැත්වීම අභියෝග ජය ගැනීමකි. ඒ සතුට සහ ශක්තිය  ශ‍්‍රී ලාංකික ටෙලි මාධ්‍යය සහ ජනතාව සම`ග බෙදා හදා ගන්නේ මෙවර, සුවිශේෂි  වුද සමස්ත ටෙලි මාධ්‍යයම ආවරණය කරන්නාවුද ජාතියේ ටෙලි සම්මාන උළෙල සංවිධානය කිරීමේ භාරදූර වගකීම ඉතා සාදරයෙන් පිළිගනිමිනි.

යමක් වටින්නේ හර වටිනාකම් රැකගෙන දිනෙන් දින වෙනස් වන්නේ නම් පමණි. එකම රටාවකට සම්මාන ලාභීන් පෝලීමේ පැමිණ සම්මාන ලබා ගන්නා උළෙලක කිසිදු රසයක් නැත. ප්‍රේක්ෂකයින්ගේ උනන්දුවක් නැත. බොහෝ සම්මාන උළෙල වලදී ප්‍රේක්ෂක අත්පොළසන් නාදය පවා අඩුවෙමින් යන්නේ එකා පිටු පස එකා පැමිණ ලබා ගන්නා සම්මාන පෝලිමේ නීරස භාවය නිසාමය. ශ‍්‍රී ලාංකේය ජනතාවට අපූර්ව අත්දැකීමක් වු රයිගම් සම්මානය අතිවිශාල ජනප‍්‍රියතාවයක් ලැබුවේ එම රාමුවෙන් බැහැරවීම නිසා විය යුතු බව රයිගම් ටෙලි සම්මාන උළෙලේ සංවිධායක මණ්ඩලය විශ්වාස කරයි.

රයිගම් ටෙලි සම්මාන උළෙල වසර දහසයකට පෙර ඇරඹෙන්නේ ටෙලි නාට්‍ය කලාව සදහා සම්මාන පුදකරන ටෙලි නාට්‍ය සම්මාන උළෙලක් ලෙසය. නමුත් ඉතා කෙටි කාලයක් තුළ එය සමස්ත රූපවාහිනි මාධ්‍යයම (සියළු වැඩසටහන් ආවරණය කරන අංග සම්පුර්ණ ටෙලි සම්මාන උළෙලක් බවට පත්වී ඇත. වසරින් වසර විවිධ පැතිකඩ ඔස්සේ ටෙලි නාට්‍ය  කුසලතාවයන් ද ප්‍රේක්‍ෂක අපේක්‍ෂාවන් හා ටෙලි මාධ්‍ය සදහා උතුම් දායකත්වයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨයන් අගයමින් ද අනන්‍ය ටෙලි සම්මාන අත් දැකීමක් එක්කළ රයිගම් ටෙලි  සම්මානය පසුව  රයිගම්  ටෙලීස්  විය. රයිගම්  ටෙලීස් නමින් සන්නාම ගත කරන්නේ ෆිල්ම් ෆෙයා, ග‍්‍රැමි වැනි ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙලක් දක්වා එය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය.