කොවිඩ්-19 අතරතුර ගෝලීය කුසගින්න මැඬලීමට වයිබර් වෙතින් වැඩසටහනක්

කොවිඩ්-19 වසංගතය හමුවේ ගෝලීය වශයෙන් දැවැන්ත ආහාර හිඟයක් මතුවී ඇති පසුබිමක, ඊට එරෙහිව සටන් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කිරීමට ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර් පියවර ගෙන තිබේ. එනම් ලෝක මට්ටමින් කුසගින්න මැඬලීම සඳහා ක්‍රියා කරන සංවිධානවලට සහාය දැක්විමේ අරමුණින් නිර්මාණය කෙරුණු ස්ටිකර් පෙළක් සහ community සමූහයක් එළිදක්වමිනි.
වයිබර් පරිශීලකයින්, සේවකයින් මෙන්ම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය, රතු අඩ සඳ සංගම් සම්මේලනය, ලෝක ව්‍යාප්ත අරමුදල (World Wide Fund -for Nature), යුනිසෙෆ්, යූ රිපෝර්ට්, සහ එක්සත් ජාතීන්ගේ සංක‍්‍රමණ පිළිබඳ වැඩසටහන ආදී මානව හිතවාදී හා සංවර්ධන හවුල්කාරීත්ව සංවිධාන රැසක් ද මෙම සද්කාර්යය සඳහා සහභාගී වේ.
කොවිඩ්-19 වසංගතයේ බලපෑම මේ වනවිට සෑම කර්මාන්තයක් හා සෑම ආයතනයක් කරා ම ව්‍යාප්ත වී තිබේ. මානව ජීවිතයේ තිරසාර භාවය සඳහා අවැසි ආහාර සැපයුම් දාම කරා ද එමඟින් එල්ල වී ඇත්තේ දැඩි බලපෑමකි. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ඉකුත් අප්‍රේල් මාසයේදී සිදුකළ ගණනය කිරීමකට අනුව 2020 වසරේදී ලෝක ජනගහනයෙන් අවම වශයෙන් මිලියන 256ක ජනතාවක් කුසගින්නට පත්වීමේ අවදානමට ලක්ව සිටී. එම ප්‍රමාණය ඉකුත් වසරට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමකි. මෙම අපගමන තත්ත්වය වළක්වා ගැනීම හරහා වටිනා මිනිස් ජීවිත රැසක් බේරාගැනීමට හැකිවනු ඇති අතර, ඒ වෙනුවෙන් පෙරට ඒමට වයිබර් පියවර ගෙන ඇත.
මෙම වැඩසටහන යටතේ ඉංග්‍රීසි හා රුසියානු භාෂාවලින් ස්ටිකර් පෙළක් නිකුත් කෙරුණු අතර”Fight World Hunger Together” නමින් විශේෂ වයිබර් community සමූහයක් ද නිර්මාණය කර තිබේ. මෙවැනි community එකක් වයිබර් හරහා හඳුන්වාදෙන පළමු අවස්ථාව ද මෙය වේ. එමඟින් ගෝලීය කුසගින්න හා බැඳුණු තොරතුරුවලට පරිශීලකයින්ට ලබාදීමට අමතරව ආහාර ගැනීම, භාණ්ඩ මිලදීගැනීම හා ඉවුම් පිහුම් ආදිය හරහා ආහාර නාස්තිය වළක්වාගැනීම හා අවදානමට පාත්‍ර වී සිටින පුද්ගලයින්ට ආහාර සඳහා ස්ථාවර වැඩපිළිවෙලක් හිමි කරදීමට සහාය වීම හා බැඳුණු වැදගත් කරුණු රැසක් පරිශීලකයින් වෙත සමීප කෙරේ. ස්වකීය වයිබර් සමූහ වෙත තොරතුරු මුදාහැරීමට අමතරව මෙම විශේෂ වයිබර් සමූහය වෙත තොරතුරු මුදාහැරීමට ද වයිබර් හා මෙම වැඩසටහනට එක්ව සිටින මානව හිතවාදී සංවිධාන පෙළ කටයුතු කරයි. ඊට අමතරව මෙම ස්ටිකර් පෙළ ඩවුන්ලෝඩ් කිරීම හරහා ඉන් ජනිත වන ආදායම ගෝලීය කුසගින්න මැඬපැවැත්වීම සඳහා වූ වැඩසටහන්වලට පිරිනැමීමට නියමිත ය. තව ද මේ මොහොතේදී මෙම ආධාර වැඩසටහනට දායක විය නොහැකි පරිශීලකයින්ට මෙම විශේෂ community සමූහය හා එක්වෙමින් සිය පවුලේ සාමාජිකයින්ටත්, මිතුරන්ටත් ඒ සඳහා ඇරයුම් කිරීමේ අවස්ථාව හිමි වේ. මෙම community වෙත සම්බන්ධ වන පරිශීලකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවූ විට, පරිශීලකයින් දිරිමත් කරමින් ආධාර වැඩසටහන සඳහා අමෙරිකානු ඩොලර් 10,000ක් පරිත්‍යාග කිරීමට ද වයිබර් ආයතනය සූදානමින් සිටී.

“ලෝකය අන් කවරදාටත් වඩා වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම කොවිඩ්-19 හේතුවෙන් අවදානමට පත්ව සිටින ජනතාව තවදුරටත් බලපෑමට ලක්වෙනවා. වසංගතය හරහා මතුව ඇති විශාලතම අභියෝගය වන්නේ ගෝලීය වශයෙන් ආහාර හිඟයක් මතුවීම සහ කුසගින්නේ සිටින ජනගහනය වැඩිවීමයි. එවන් පසුබිමක වයිබර් ආයතනය ලෙස, කිසිවක් නොකර බලා සිටීමේ හැකියාවක් අපට නැහැ” යනුවෙන් රකුටෙන් වයිබර් ප්‍රධාන විධායක නිලධාරී ජාමෙල් අගවුඩා මහතා පැවසීය.