SLIIT ආයතනය සිසුන්ට පිරිනමන විශ්ව විද්‍යාල අත්දැකීම සාර්ථකව නව සාමාන්‍ය තත්ත්වයට ගලපයි

මෙරට ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT කොවිඩ්-19 අභියෝග හමුවේ වුව ද, පූර්ණ විශ්ව විද්‍යාල අත්දැකීමක් හා ශිෂ්‍ය සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගැනීමේ වැදගත්කම අවබෝධ කරගනිමින් නව සාමාන්‍ය තත්ත්වය යටතේ තම අධ්‍යයන මෙන්ම විෂය බාහිර කටයුතු ද සාර්ථකව පවත්වාගෙන යෑමට සමත්ව තිබේ. 

ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපන ආයතන හා බැඳුණු පාරිසරික තත්ත්වයන් දිනපතා පාහේ වෙනස්වීම්වලට බඳුන් වෙමින් තිබේ. කෙසේ වුවද අලුතින් උසස් අධ්‍යාපනය සඳහා එක්වන සිසුන්ට මෙම යථාර්ථය පිළිගැනීම හා නව සාමාන්‍ය තත්ත්වයට හුරු වීම තරමක් අසීරු විය හැකි බව ද SLIIT උසස් අධ්‍යාපන ආයතනය අවබෝධ කරගෙන සිටියි.

සිසුන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදීමේ තම අරමුණ උපරිමයෙන් ඉටු කරගැනීම සඳහා  අවශ්‍ය හා සුදුසු වෙනස්කම් වහා ක්‍රියාත්මක කිරීමට ද SLIIT කැපවී සිටියි. ඒ අනුව කොවිඩ් වසංගතය හමුවේ උසස් මට්ටමේ ඩිජිටල් පද්ධතියක් හඳුන්වාදෙමින් මාර්ගගත අධ්‍යාපනය (online learning) පිරිනැමීමට කටයුතු කළ මෙරට ප්‍රධානතම අධ්‍යාපන ආයතනයක් ලෙස ද එය හැඳින්විය හැක. එම නිසා සියලු අධ්‍යයන කටයුතු මෙන්ම සිසුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යට අදාළ ක්‍රියාකාරකම් ද මාර්ගගත ක්‍රමයට සංවිධානය විය. දැඩි විශ්වාසයකින් යුතුව ආරම්භ කළ මෙම මාර්ගගත අධ්‍යාපන ක්‍රමය සාර්ථක වූ අතර සිසුන්ට සාමාන්‍ය පරිදි තම අධ්‍යයන කටයුතු හැදෑරීමේ අවස්ථාව උදාවිය.

අවිනිශ්චිත කාලසීමාවකදී වුව තම උපාධි පාඨමාලා සඳහා මෙන්ම සෙසු ක්‍රියාකාරකම් සඳහා මාර්ගගත පරිසරයක් උදා කිරීමට SLIIT සමත් වූ බව මෙමගින් මනාව පැහැදිලි වේ. සිසුන් ඉතාමත් ධනාත්මක අයුරින් ඩිජිටල් ක්‍රමවේදය හරහා තම අධ්‍යයන හා අනධ්‍යයන කටයුතුවලට සම්බන්ධ වී සිටි අතර විශේෂයෙන් ම දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල වෙසෙන සිසුන්ට පවා පටිගත කරන ලද දේශන මෙන්ම සජීවී දේශනවලට තම ස්මාට් ජංගම දුරකතන හරහා සම්බන්ධ වීමේ අවස්ථාව උදාවිය.

මුහුණට මුහුණලා කෙරෙන ඉගැන්වීම් කටයුතු හා මුසු කරමින් මාර්ගගත ඉගෙනුම් කටයුතු සිදුකෙරුණේ සියලු සිසුන්ගේ මෙන්ම කාර්යමණ්ඩලයේ ද ආරක්ෂාව තහවුරු කරමිනි. ඒ හරහා සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ඇතුළු කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ද හැකිවිය.

එමෙන්ම ක්‍රමානුකූලව දෙමුහුනු ක්‍රමවේදයක් භාවිත කරමින් ඉගෙනුම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩිකිරීමට ද පියවර ගැනුණි. විශේෂයෙන් ම තෝරාගත් විෂයන්ට මෙවැනි දෙමුහුන් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සිදුවූයේ සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් ප්‍රායෝගික දේශන පැවැත්වීමට සිදුවූ බැවිනි.

සමාජ දුරස්ථභාවයට අමතරව සෙසු සියලු මාර්ගෝපදේශ, එනම් SLIIT පරිශ්‍රයේ පිරිසිදුබව හා සනීපාරක්ෂාව වැඩි කිරීම,  විවිධ වැඩසටහන් හා සමාජ ඒකාරාශී වීම් සඳහා අවම පුද්ගල සහභාගීත්වය, සෞඛ්‍ය අධීක්ෂණ කටයුතු හා බිම් මට්ටමේ මෙහෙයුම් නිරන්තරයෙන් සමාලෝචනය කිරීම ආදී පියවර රැසක් අනුගමනය විය.

නව සාමාන්‍ය තත්ත්වයට හැඩගැසෙමින් පළමු වසරේ සිසුන් වෙනුවෙන් සංවිධානය කෙරෙන තම පළමු ඩිජිටල් ශිෂ්‍ය අනුහුරු වැඩසටහන පැවැත්වීමට ද SLIIT පියවර ගත්තේය. තම උසස් අධ්‍යාපන ජීවිතයේ පළමු පරිච්ඡේදය සනිටුහන් කරන නවක සිසුන්ට කදිම අත්දැකීමක් හිමිකරදීමට එම වැඩසටහන සමත්විය.

කොපමණ සීමාකිරීම් පැවතුණ ද මාර්ගගත ක්‍රමවේදය හරහා සංවිධානය කෙරුණු මෙම ක්‍රියාකාරකම් හරහා තම ජීව ගුණය හා සාරය නවක සිසුන් වෙත සමීප කිරීමට හැකිවුණු බව SLIIT හි බලවත් විශ්වාසය වේ.

SLIIT උසස් අධ්‍යාපන ආයතනය තම නවතම ශිෂ්‍ය කණ්ඩායම් ඉදිරි මාස කිහිපයේදී පිළිගැනීමට සූදානමින් සිටියි.  නව දේශන ශාලා පරිශ්‍රයන්හි ඉගෙනීම් කටයුතු සිදුකිරීම තුළ නව අභියෝග උදාවිය හැකි වුව ද, ඒ සියල්ල සාර්ථකව ජයගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගැනීමට කටයුතු යොදා තිබේ.

කවර ආකාරයට අධ්‍යයන කටයුතු සිදුකළ ද සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන අතරේ, සිසුන්ගේ ඒ ඒ පුද්ගලික අවශ්‍යතාවන් සොයා බලමින් ඔවුන්ට සහාය වීමට ද SLIIT හි අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය නිරතුරුව කැපවී සිටියි.

SLIIT හි උපාධි පාඨමාලා හා නවතම ශිෂ්‍ය බඳවාගැනීම් පිළිබඳ වැඩිදුර තොරතුරු 011 754 4801 යන දුරකතන අංකය ඇමතීමෙන් හෝ ඊමේල් ([email protected]) හෝ වෙබ් අඩවිය (www.sliit.lk)  හරහා ලබාගත හැක.