රුපියල් කෝටි 15,183 ක් වැයකරමින් කටුනායක ගුවන්තොටුපල පුළුල් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සමගාමීව
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ කළේය.

මෙම වසරේ මෙරට තුල ආරම්භ කෙරෙන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය මෙය බව සංචාරක අමාත්‍යංශය සදහන් කරයි.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ මගීන් හැසිරවීමේ වාර්ෂික ධාරිතාව ලක්ෂ හැටේ සිට ලක්ෂ එකසිය පනහ දක්වා ඉහළ නැංවීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වන අතර ගුවන්තොටුපලේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව හා පාරිභෝගික සේවා ද ඒ හරහා පුළුල් කෙරෙනු ඇත.

අදියර දෙකක් යටතේ මෙය ක්‍රියාත්මක අතර පළමු අදියර වසර 3කදී අවසන් කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 15,183 ක මුදලක් වැය කිරීමට ද නියමිතය. ජපන් රජය විසින් අදාළ ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 13,019 ක ණය මුදලක් පිරිනමා ඇති අතර ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් ඒ සඳහා යොමු කිරීමට සැළසුම් කර ඇති මුදල රුපියල් මිලියන 21,645 ක් වෙයි.

ඒ අනුව සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තු ගත මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 15,183 ක් වන බව සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි.