මිථ්‍යාවෙන් වැසුණු සත්‍ය හෙවත් ක්‍රිසොටයිල් සිමෙන්ති සෙවිලි තහඩු කර්මාන්තය

දේශීය ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ විශේෂඥයින්ගේ ඉහළ තේරීම බවට පත්ව ඇති ක්‍රිසොටයිල් සිමෙන්ති සෙවිලි තහඩු යනු, දේශීය ව වසර 60කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක කීර්තිමත් නිෂ්පාදනයකි.

විවිධ වූ සමාජ, ආර්ථික තත්ත්වයන්ගෙන් යුතු ශ්‍රී ලාංකීය සමාජය තුළ මෙන්ම පොදුවේ ග්‍රාමීය සහ නාගරික අඩු ආදායම්ලාභී ජනතාව අතර ඉමහත් ජනප්‍රිය සෙවිලි නිෂ්පාදනයක් බවට පත්ව ඇති මෙය, ඔවුන් හට පොල් අතු හෝ එවැනි ආකාරයේ සෙවිලි වහලින් මිඳීම සඳහා ප්‍රබල බලපෑමක් සිදුකර ඇත. එයම මෙම නිෂ්පාදනයේ ජනප්‍රියත්වය සඳහා මූලික හේතුවක් වී ඇත.

මෙයට අමතර ව දේශීය ව ක්‍රිසොටයිල් සිමෙන්ති සෙවිලි තහඩු ජනප්‍රිය වීම සඳහා තවත් සුවිශේෂී ගුණාංග කීපයක් ඉවහල් වී ඇත. විශේෂයෙන් සූර්යාලෝකයේ අඩංගු පාරජම්බූල කිරණ සඳහා ප්‍රතිරෝධය දැක්වීමට මෙම නිෂ්පාදනය සතුව විශේෂ හැකියාවක් පැවතීම වගේම විඛාදන ප්‍රතිරෝධී ගුණය නිසා පරම්පරා කීපයකට කිසිදු කරදරකාරී තත්ත්වයකින් තොරව සෙවන සැපයීම හැකිවීම මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉහළ විශ්වාසයක් රැඳවීමට සමත් ව ඇත. තවද මෙතරම් සුවිශේෂීත්වයක් සහිත මෙම නිෂ්පාදනය දිළිඳු ජනතාවට පවා මිල දී ගත හැකි ආකාරයේ මිල ගණන් වලට ලබාදීමට යොමුව තිබීම ද මෙම නිෂ්පාදනය දේශීයව ජනප්‍රිය වීම සඳහා බෙහෙවින් ඉවහල් වී ඇත.

වර්තමානය වන විට කර්මාන්තයක් ලෙස පුළුල්ව ව්‍යාප්තව ඇති ක්‍රිසොටයිල් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදනය ක්‍ෂේත්‍රය මගින් මේ වන විට සෘජු හා වක්‍ර රැකියා 30,000කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමට සමත් ව ඇත.

මෙමගින් දේශීය සෙවිලි තහඩු වෙළෙඳපොළ අවශ්‍යතාවයන්ගෙන් 35%ක පමණ ප්‍රමාණයක් සපුරාලීමට සමත් ව ඇති අතර එම අවශ්‍යතාවය දේශීය කර්මාන්තශාලා හතරකින් සම්පූර්ණ කරනු ලබයි.

කර්මාන්තයක් ලෙස සමාජමය සහ ආර්ථිකමය වශයෙන් කෙතරම් ධනාත්මක බලපෑමක් ක්‍රිසොටයිල් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදනයෙන් සිදුකළ ද, පදනම් විරහිත අයුරින් මෙයින් සෞඛ්‍යයට තර්ජනයක් සිදුවන බව පවසමින් එල්ලකරනු ලබන විවිධ වූ බලපෑම් අද වන විට මෙම දේශීය කර්මාන්තය කිසියම් ආකාරයක පසුබෑමකට ලක්කිරීමට සමත්ව ඇත.

මිත්‍යාවෙන් බැහැරවීමට

ගෝලීය ව ස්වාභාවික තන්තුමය ඛනිජ වර්ගයන් 400ක පමණ ප්‍රමාණයක් ඇති අතර, එයින් වානිජමය වශයෙන් භාවිත කිරීමට යොමුව ඇත්තේ ඛනිජයන් 6ක් පමණි. පොදුවේ මෙම ඛනිජ වර්ග සියල්ල ‘ඇස්බැස්ටස්’ යන වානිජ නාමයෙන් හැඳින්වූවද, එම ඛනිජ වර්ගයන්ගේ ස්වභාවය අනුව එය මූලික වශයෙන් ‘සර්පන්ටයින්’ සහ ‘ඇම්ෆිබෝල්’ යනුවෙන් කාණ්ඩ දෙකකට වර්ග කර ඇත. මෙයින් දෙවෙනි කාණ්ඩය හෙවත් ඇම්ෆිබෝල් කාණ්ඩය භාවිත කිරීම ගෝලීය වශයෙන් තහනම් කර ඇති අතර, වර්තමානය වන විට සර්පන්ටයින් කාණ්ඩය ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් භාවිත කරන ඛනිජයක් බවට පත්ව ඇත.

තත්ත්වය එසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම ක්‍ෂේත්‍රය හා සම්බන්ධ පර්යේෂණයන් අධ්‍යයනය කිරීමේ දී ඔවුන් වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ඇම්ෆිබෝල් ඛනිජ භාවිත කර ඇති රටවල් කෙරෙහිය. එබැවින් ක්‍රිසොටයිල් පිළිබඳ සැබෑ තොරතුරු සමාජගතවීමේ අවස්ථාව මෙමගින් ඇහිරී ඇත. තවද ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රිසොටයිල් සම්බන්ධයෙන් තොරතුරු නිකුත් කර ඇත්තේ ද තෝරාගත් අංශයන් කිහිපයක් මූලික කර ගනිමිනි. එබැවින් බොහෝ පිරිස් මෙම කාණ්ඩ වර්ග ද්විත්වයේ තන්තුවල ඇති ජෛව රසායනික සහ විද්‍යාත්මක වෙනස පිළිබඳව නිවැරැදි අවබෝධයකින් තොරව, ඇම්ෆිබෝල් කාණ්ඩයේ ඛනිජ ද්‍රව්‍ය හා අදාළ තොරතුරු මත පදනම් ව ක්‍රිසොටයිල් වෙතට ද එම චෝදනා එල්ලකිරීමට යොමු වේ.

ගෝලීය වශයෙන් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී මූලික වශයෙන් මෙම ඛනිජ ද්‍රව්‍ය කාණ්ඩගත කර ඇති ආකාරය ද මෙම ගැටළුව තවදුරටත් සංකීර්ණ කිරීමට හේතු වී ඇති බව දැක්විය හැකිය. මෙහිදී පොදුවේ මෙම කාණ්ඩයේ ඛනිජ හඳුන්වනු ලබන්නේ ඇස්බැස්ටොස් නාමයෙනි. නමුත් ඉහත සඳහන් කළ ආකාරයට මෙම ඛනිජ වර්ගයන්ගේ ඇති ස්වභාවය අනුව එය අනු කාණ්ඩ වලට වෙන් කර තිබුන ද, පොදුවේ ඇම්ෆිබෝල් කාණ්ඩය කෙරෙහි එල්ල කරනු ලබන බලපෑම ක්‍රිසොටයිල් කෙරෙහි ද යොමුකිරීම මෙම තත්ත්වය නිර්මාණය වීමට හේතුවක් වී ඇත. තවද වර්තමානය වන විට ක්‍රිසොටයිල් සිමෙන්ති සෙවිලි තහඩු භාවිත කිරීම සහ පිළිකා හෝ වෙනත් කිසිදු රෝග තත්ත්වයක් ඇතිවීම අතර සම්බන්ධයක් ඇති බව පවසමින් විවිධාකාරයේ සංවාදයක් ක්‍රියාත්මක වුව ද, එය නිශ්චිතවම තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් කිසිදු සාක්‍ෂියක් ඉදිරිපත් කිරීමට ද නෙහැකි වී ඇති බව මෙහිදී අවධාරණය කළ යුතුය.

සෞඛ්‍යාරක්‍ෂිත නිෂ්පාදන ක්‍රියාවලියක් සහිත වගකිවයුතු කර්මාන්තයක් ලෙස

ශ්‍රී ලාංකීය ක්‍රිසොටයිල් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදන කාර්යයේදී අධි ඝණත්ව සෙවිලි තහඩු සඳහා තන්තු භාවිතකරනු ලබන්නේ සමස්තයෙන් 6% සිට 8% දක්වා ප්‍රමාණයකටය. ප්‍රතිශතාත්මකව අනෙක් ප්‍රමාණය සමන්විත වන්නේ සිමෙන්ති, ජලය මිශ්‍රණයකිනි. මෙම සිමෙන්ති සහ ජල මිශ්‍රණය මගින් එම තන්තු මනාව ආවරණය කර ඇති අතර, කිසිදු ආකාරයකින් මෙම තන්තු වායුගෝලය වෙත විමෝචනය වීමක් සිදු නොවේ.

තවද සහතික කරනු ලැබූ නිෂ්පාදන ක්‍රියාවලියක් ඔස්සේ, විශේෂ අධීක්‍ෂණ කාර්යයට යටත්ව මෙම නිෂ්පාදනයන් සිදුකරනා බැවින් කිසිදු ආකාරයක සෞඛ්‍ය අවදානමක් නොපැවතීම ද වැදගත් කරුණකි.

මහජන සෞඛ්‍ය අවදානම සහ පරිසර අවදානමක් නොමැති බව සහතික කරන තීරණාත්මක සාක්‍ෂි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මගින් ක්‍රිසොටයිල් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදන කර්මාන්තශාලා ආශ්‍රිත වාතයේ ගුණාත්මක බව සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකරනු ලැබ ඇත.

එම අධ්‍යනයන් හි ප්‍රතිඵලයන්ට අනුව වායු තන්තු විමෝචනය සම්මත නිර්දේශිත මට්ටමට වඩා බෙහෙවින් අඩු අගයක පවතින අතර බොහෝ විට තන්තු විමෝචනය ශූණ්‍ය තත්ත්වයක පවතින බව දක්වා ඇත.

මෙයට අමතරව පරිසර අමාත්‍යාංශය මගින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) වෙත ක්‍රිසොටයිල් සෙවිලි කරනු ලැබූ සියලුම රාජ්‍ය ආයතන ගොඩනැගිලිවල වාතයේ ගුණාත්මකබව සම්බන්ධයෙන් පරීක්‍ෂා කරන ලෙස උපදෙස් ලබා දී තිබුන ද, අද වන විට ද එම ආයතනය වෙත එබඳු අහිතකර තත්ත්වයක් සොයාගැනීමට අපොහොසත් වී ඇති අතර, සිදුකරනු ලැබූ සියලුම පරීක්‍ෂණ වලින් තන්තු විමෝචනය ශූණ්‍ය අගයක පවතින බව සනාථ කර ඇත.

දිවයින පුරා ඇති පාසල් දශක හයක පමණ කාලයක් තිස්සේ ක්‍රිසොටයිල් සිමෙන්ති සෙවිලි තහඩු භාවිත කරනු ලබන අතර, එම කාලය තුළ මෙම තහඩු භාවිත කිරීමෙන් ඇතිවූ කිසි දු සෞඛ්‍ය ගැටළුවක් සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ වාර්තාවීමක් සිදුවී නොමැත. මෙය නවීනත්වයෙන් යුතු ක්‍රිසොටයිල් සිමෙන්ති සෙවිලි තහඩු ළමා සෞඛ්‍යයට මෙන්ම පොදුවේ මිනිසුන් හට කිසිදු ආකාරයක අවදානම් තත්ත්වයක් ඇති නොකරන බවට මනා වූ නිදර්ශනයකි.