ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඔලිම්පික් සිහින සැබෑ කරන ‘රිට්ස්බරි මව්බිමට වීරයෙක්’

ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් නියෝජනය කිරීම සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේම ජීවිතයේ එක් සිහිනයක් මෙන්ම සුවිසල් ජයග්‍රහණයක්ද වෙයි- ඒ විරල අවස්ථාව මේ වන විටත් උදා කර ගැනීමට හැකිවී ඇත්තේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට පමණකි. එහෙත් අනාගතයේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙළ සඳහා සුදුසුකම් ලබමින් එහි ජයග්‍රහණයන් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නට මෙරට තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ඔප් නැංවීම වෙනුවෙන් සුවිසල් පියවරක් පසුගියදා රිටිස්බරි විසින් ගනු ලැබීය.

ඒ ‘රිට්ස්බරි මව්බිමට වීරයෙක්’ වැඩසටහන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත හඳුන්වා දීම තුළිනි. සී බී එල් ෆුඩ්ස් ඉන්ටනැෂනල් සමාගමයෙහි ප්‍රමුඛතම චොක්ලට් වෙළෙඳනාමය වන රිට්ස්බරි විසින් දියත් කරනු ලැබූ මෙම වැඩසටහනෙහි මුල් අදියර වශයෙන්, තෝරාගත් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකු හට මුල්‍යමය දායකත්වය ලබා දෙන ලදී.

මෙය මෙරට වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තමන්ගේ මව්රටට වැඩි වැඩියෙන් ජයග්‍රහණයන් දායාද කිරීමට මෙන්ම ඔවුන්ගේ ජීවිතයේ ජාත්‍යන්තර තරඟ සිහිනද සැබෑවක් බවට පත් කිරීමට මහත් රුකුලක් වනු ඇත. මෙම සුවිශේෂී වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගියදා පැවැත්වින.

වසර 15කට වැඩි කාලයක් තිස්සේ ක්‍රීඩාව වෙනුවෙන් කැපවෙමින් මලල ක්‍රීඩා,ස්කොෂ්, පිහිනුම්, රග්බි සහ ටෙනිස් ඇතුළු මෙරට ක්‍රීඩා රැසක් සඳහා සිය අනුපමේය දායකත්වය දක්වා ඇති රිට්ස්බරි, ඒ තුළින් ක්‍රීඩාවේ ජයග්‍රහණයන් සමඟ මව්බිමට කීර්තියක් ගෙන ඒමට අවශ්‍ය ශක්තිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලබා දී ඇත.

විශේෂයෙන් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුරා දස වසරකට අධික කාලයක් ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා ශුරතාවලිය සඳහා පූර්ණ අනුග්‍රහකත්වය සපයමින් ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතාවයන් ඉහළ නැංවීමත් ඒ හරහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට දායකත්වය ලබා දීමත් සුවිශේෂී ගණයෙහි ලා සැලකිය හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සී බී එල් ෆුඩ්ස් ඉන්ටනැෂනල් සමාගමෙහි සාමාන්‍යාධිකාරී- අලෙවි නිලුපුල් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ, “ශ්‍රී ලංකාවේ අංක 1 චොක්ලට් සන්නාමය ලෙස අපි ශ්‍රී ලංකාවේ දක්ෂතාවලින් පිරිපුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ සහයෝගය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන විවිධ දුෂ්කරතාවන් නිසා ඔවුන් ක්‍රීඩාව අත්හැර දමන අවස්ථාවන් අප දැක තිබෙනවා. එම නොයෙකුත් දුෂ්කරතාවයන් හදුනාගනිමින් ඒ සදහා සහය වීමට ‘රිට්ස්බරි මව්බිමට වීරයෙක්’ වැඩසටහන තුලින් අප බලාපොරොත්තු වෙනවා. ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට ඔවුන්ගේ ඔලිම්පික් සිහිනය සැබෑ කර දීමට මෙම වැඩසටහන මහත් රුකුලක් වනු ඇතැයි අප තරයේ විශ්වාස කරනවා.ඒ බලාපොරොත්තුව නිසාම ඉදිරි වසරවලදීත් මෙම වැඩසටහන මීට වඩා පුළුල් ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සමාගමේ අභිප්‍රායයි ” යනුවෙනි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ තේරීම් කමිටු සාමාජිකා, ජාතික කෙටි දුර ධාවන ශූරී හා ජාතික මලල ක්‍රීඩා වාර්තාලාභිනී ඉනේකා කුරේ වික්‍රමසිංහ මහත්මිය අදහස් දක්වමින්, “මෙවැනි අභියෝගාත්මක වාතාවරණයක් තුල ද, රටෙහි ක්‍රීඩාවේ සුබසාධනය උදෙසා දියත් කරන ලද මෙම රිට්ස්බරි මව්බිමට වීරයෙක් වැඩසටහන අප ඉතාමත් අගය කරනවා. Covid-19 වසංගත තත්වය තුළ පවා අපගේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය සහ දිරි ගැන්වීම ඉතා ප්‍රශංසනීයයි. ‘රිට්ස්බරි මව්බිමට වීරයෙක්’ වැඩසටහන අනාගතයේ ඔලිම්පික් රන් පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරට තුළ බිහි කිරීමට ඉවහල් වනු ඇතැයි මා විශ්වාස කරනවා” යනුවෙන් පවසා සිටියාය.

ශ්‍රී ලංකාවේ අති දක්ෂ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ග්‍රාමීය ප්‍රදේශවලින් බිහි වූ අය වන අතර ඔවුන් බොහෝ විට මූල්‍ය හෝ වෙනත් වෘත්තීය සහයෝගයක් නොමැතිව අතරමඟින් ක්‍රීඩාවට සමුදීමට තීරණය කිරීම ඉතා බහුලව සිදුවන කනගාටුදායි සිදුවීමකි. එවන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සහයෝගය ලබා දීම රිට්ස්බරි ආයතනය සිය වගකීමක් ලෙස සලකන අතර ඒ හරහා ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රීඩා ශූරයන් ලොව බබලන තරු බවට පත් කිරීමට අත් වැලක් වීමට ලැබීම රිට්ස්බරි සන්නාමය ලද සුවිසල් ගෞරවයක් ලෙස සළකනු ලබයි.