‘කලා පොළ 2021’ දැන් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙයි

ශ්‍රී ලංකාවේ දෘශ්‍ය කලා ප්‍රචාරණය හා ප්‍රවර්ධනය ඉලක්ක කරගත් ‘කලා පොළ’ වාර්ෂික ප්‍රදර්ශනය, එහි වසර 28 ක ඉතිහාසයේ ප්‍රථම වරට අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම 2021 පෙබරවාරි 21 වන දින ආරම්භ විය.

srilankanartgallery.com/kalapola ඔස්සේ 2021 මාර්තු 21 දින දක්වා මෙම ප්‍රදර්ශනයට පිවිසිය හැකි අතර, ජ්‍යෙෂ්ඨ කලාකරුවන් මෙන්ම ආධුනික කලාකරුවන් හා ශිෂ්‍යයන් 200 කට වැඩි පිරිසක් විසින් සිදුකරන ලද නිර්මාණ 4,000 කට අධික සංඛ්‍යාවක් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.


1993 වසරේ සිටම කලා පොළ වැඩසටහන මෙරට චිත්‍ර ශිල්පීන්ට හා මූර්ති ශිල්පීන්ට සිය නිර්මාණ වසරින් වසර පුළුල් වෙන ප්‍රේක්ෂක ප්‍රජාවක් වෙත ප්‍රදර්ශනය කිරීමට හා අලෙවි කිරීමට අවස්ථාව උදා කර දී ඇත. ජෝර්ජ් කීට් පදනම විසින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සහයෝගය සමගින් ඉදිරිපත් කරන මෙම වැඩසටහන, කොළඹ නගරයේ සංස්කෘතික වැඩසටහන් අතර ප්‍රමුඛතම වැඩසටහනක් බවට පත්වී තිබේ.

මීට පෙර එක්දින ඉසව්වක් ලෙස පැවති මෙම වැඩසටහන නැරඹීමට 30,000 ක පමණ පිරිසක් පැමිණි අතර, COVID-19 රෝග ව්‍යාප්තියත් සමග එබඳු ඉසව් පැවැත්වීම සීමා කිරීමට සිදුවීම නිසා, 2021 පෙබරවාරි 21 දින සිට 2021 මාර්තු 21 දින දක්වා මාසයක කාලයක් පුරා අන්තර්ජාලය ඔස්සේ මෙම වැඩසටහන පැවැත්වීමට සංවිධායකවරු තීරණය කළහ.


ජෝන් කීල්ස් පදනම (ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය) විසින් නිර්මාණය කරන ලද www.srilankanartgallery.com වෙබ් අඩවිය ඔස්සේ කලා පොළ 2021 වැඩසටහන පැවැත්වේ. මෙය ශ්‍රී ලාංකික කලා ශිල්පීන්ට වසර පුරා තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දෙන වෙබ් අඩවියකි. කලා පොළ 2021 වැඩසටහනේ බැංකු සහකරු ලෙස නේෂන්ස් ට්‍රස්ට් බැංකුව එක්වී සිටින අතර, ප්‍රදර්ශනය පොදු ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට පෙර පෙබරවාරි 20 දිනයේ එය නැරඹීමට ‘නේෂන්ස් ට්‍රස්ට් ප්‍රයිවට් බෑන්කින්’ සාමාජිකයන්ට අවස්ථාව උදා විය.

මෙතෙක් සිදුකළ ආකාරයටම වෙබ් අඩවිය හරහාද කලාකරුවන්ට ගැනුම්කරුවන් හා සම්බන්ධ වී ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණය වලට එළඹිය හැකි වේ. එමෙන්ම මෙම වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම නිසා විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික කලා ශිල්පීන්ටද තම නිර්මාණ මීට ඇතුළත් කිරීමට හැකි වී ඇති අතර, විදේශ ගැනුම්කරුවන්ට මෙරට කලාකරුවන් හා සම්බන්ධ වී සෘජුවම මිලදීගැනීම් සිදුකිරීමට අවස්ථාව උදාවී ඇත.

කලා නිර්මාණ එකතු කරන්නන්, කලාකරුවන්, දරුදැරියන් සහ සමස්තයක් ලෙස කලා ලෝලීන් සියලුම දෙනා වෙනුවෙන් අතිරේක වැඩසටහන් පෙළක්ද සංවිධානය කිරීමටද ජෝන් කීල්ස් පදනම පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන් අතරට කලා නිර්මාණ එකතු කිරීම සහ කලා නිර්මාණ එකතුවක් ගොඩනංවා ගැනීම සම්බන්ධ මගපෙන්වීමක්, කලා ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය සහ කලා ශිල්පීන්ට සමාජය තුළ හිමි ස්ථානය පිළිබඳව ප්‍රවීණ කලාකරුවන් හා විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් යුත් සාකච්ඡාමය වැඩසටහන් 2 ක්, සහ පත්‍ර වර්ණ ගැන්වීම සහ මැටි නිර්මාණ සම්බන්ධයෙන් Cora Abraham Art school සමග එක්ව දරුවන් වෙනුවෙන් පවත්වන වැඩමුළුවක් මීට ඇතුළත් වී ඇත. මේ සියල්ල කලා පොළ නිල ෆේස්බුක් පිටුව හරහා සජීවීව විකාශය කෙරේ.

ශ්‍රී ලාංකික කලාකරුවන් වෙනුවෙන් තිරසාර ජීවනෝපායන් නිර්මාණය කිරීම, ඔවුන්ට හිමිවන ඉගෙනුම් සහ අන්‍යොන්‍ය සම්බන්ධතා අවස්ථාවන් පුළුල් කිරීම සහ අව්‍යාජ කලාවන් සම්බන්ධයෙන් ජනතාව සතු දැනුම හා උනන්දුව ඉහළ නැංවීම යනාදිය, කලා පොළ වැඩසටහනේ සංවිධාකයන් වන ජෝර්ජ් කීට් පදනමේ සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ මූලික අරමුණු වේ.

පසුගිය වසර 27 ක කාලය තුළ, ප්‍රදර්ශන දිනය තුළ සිදුකරන අලෙවියෙන් ඔබ්බට ගොස් ස්ථාවර ගනුදෙනුකරුවන් පිරිසක් නිර්මාණය කරගැනීමට මෙරට කලාකරුවන්ට අත්වැලක් වීමට කලා පොළ වැඩසටහන සමත් වී ඇති අතර, එදා මෙදාතුර ඔවුන් වෙනුවෙන් තිරසාර වෙළඳපොළ අවස්ථා උදාකර දී ඇත. කලාකරුවන්ට සිය දැනුම වැඩිකර ගැනීමට හා එකිනෙකා සමග සම්බන්ධ වීමට වේදිකාවක් සපයන අතරම, ජනතාව අතර දෘශ්‍ය කලාව සම්බන්ධයෙන් ඇති උනන්දුව හා පිළිගැනීම වර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන කලක පටන් කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකර තිබේ.

දැනට පවතින COVID-19 රෝග ව්‍යාප්ති තත්ත්වය නිසා මෙරට කලාකරුවන් බොහෝ දෙනෙකු දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පසුබිමක් තුළ, ඔවුන්ට අත්වැලක් වීම සඳහා ජෝර්ජ් කීට් පදනම සහ ජෝන් කීල්ස් සමූහය කැපවී සිටින අතර, මෙවර මාසයක් පුරා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන කලා පොළ වැඩසටහන මෙරට කලාකරුවන් ජාත්‍යන්තර කලා ලෝලීන් සමග සම්බන්ධ කරමින් එම අරමුණ සාක්ෂාත් කරගැනීමට මහඟු අත්වැලක් සපයනු නිසැක ය.

කලාව හා සංස්කෘතිය යනු ජෝන් කීල්ස් පදනමේ (ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය) මූලික අවධානය යොමු වී ඇති අංශ 6 අතරින් එක් අංශයකි. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී ඇති සමාගම් අතරින් විශාලතම සමාගම වන, වසර 150 කට අධික ඉතිහාසයක් ඇති ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධව ක්ෂේත‍්‍ර 7 ක් ආවරණය කරන සමාගම් 70 කට අධික සංඛ්‍යාවක් ක‍්‍රියාත්මක වේ.

LMD සඟරාව මගින් අඛණ්ඩව වසර 15 ක් තිස්සේ මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම්කර ඇති ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි සේවය කරන සංඛ්‍යාව 14,000 කට අධික ය. World Economic Forum හි පූර්ණ සාමාජිකයෙකු සහ UN Global Compact හි හවුල්කරුවෙකු වන එම සමාගම ‘හෙට සඳහා ජාතිය බලගැන්වීම’ යන දැක්ම පෙරදැරිව තම සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන ‘Plasticcycle’ ඔස්සේ ප්ලාස්ටික් නිසා රට තුළ ඇතිවන පරිසර දූෂණය අවම කිරීම සඳහා කටයුතු කරමින් සිටී.