JAT Holdings අධ්‍යක්ෂ මණ්ඩලයට දේවක කුරේ සහ ප්‍රියන්ති පීරිස් පත්වෙති

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් හා ගෘහ අලංකරණ කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශ්වාසය දිනූ ප්‍රමුඛයා වන JAT Holdings සමාගම, ප්‍රවීණ වෘත්තිකයන් දෙදෙනෙකු වන දේවක කුරේ මහතා සහ ප්‍රියන්ති පීරිස් මහත්මිය සිය අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ.

මෙම පත්කිරීම් මගින් JAT අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන අධ්‍යක්ෂවරුන් අනුපාතය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියාමනයන් සහ අනෙකුත් සියලු සම්මතයන්ට සාපේක්ෂව පැහැදිලි ලෙසම ඉහළ ගොස් ඇති අතර, එය එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සමබරතාව තවදුරටත් ශක්තිමත් කරන පියවරක් ලෙසද හැඳින්විය හැක.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් JAT Holdings සභාපති වෛද්‍ය සිවා සෙල්ලයියා මහතා මෙසේ පැවසී ය. “දේවක කුරේ මහතා සහ ප්‍රියන්ති පීරිස් මහත්මිය අපගේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීමට ගත් තීරණය මූලික වශයෙන් ව්‍යාපාරික තලයේදී මෙන්ම සමාජයීය තලයේදීත් ඔවුන් සතු පිළිගැනීම සැලකිල්ලට ගෙන ගත් තීරණයක්. එමෙන්ම මෙය සමාගම තුළ විනිවිදභාවයෙන් යුත් ආයතනික පාලනයක් සිදුවන බව යළිත් අවධාරණය කිරීමක් ලෙසත් හැඳින්විය හැකියි.”

සමාගමේ ආරාධනය පිළිගෙන අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වීම සම්බන්ධයෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා නව සාමාජිකයන්ට සිය ස්තූතිය පළකළ අතර, ඒ සම්බන්ධයෙන් තමන් බෙහෙවින් සතුටු වන බවත්, ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් සම්භාරය තුළින් සමාගමට විශාල යහපතක් සිදුවනු ඇති බවත් අවධාරණය කළේ ය.

දේවක කුරේ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු (FCA) මෙන්ම එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ සාමාජිකයෙකුද (FCMA) වේ. මේ වනවිට Management Systems (Pvt) Ltd. හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඒ මහතා Hatton National Bank (PLC), Life Insurance Corporation (Lanka) Ltd, සහ HVA Foods PLC යන සමාගම් වල අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.

ව්‍යාපාරික ලෝකයේ දශක ගණනක පළපුරුද්දක් හිමි දේවක කුරේ මහතා මීට පෙර අර්නස්ට් Ernst & Young හි වසර 40 කට ආසන්න කාලයක් සේවය කර තිබේ. 1998 වසරේ සිට 2019 වසරේදී විශ්‍රාම ගන්නා තුරුම එම සමාගමේ කළමනාකරණ කමිටුව නියෝජනය කළ ඒ මහතා, 2016 වසරේ සිට 2019 වසර දක්වා එහි නියෝජ්‍ය කළමනාකරණ හවුල්කරු (Deputy Managing Partner) ලෙසද කටයුතු කළේ ය.

1995 වසරේදී මාලදිවයිනේ Ernst & Young Practice ආරම්භ කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ දේවක කුරේ මහතා එහි ආරම්භයේ සිටම එහි සමස්ත කළමනාකරණ වගකීම් භාරව කටයුතු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක වන ප්‍රියන්ති පීරිස් මහත්මිය එංගලන්තය හා වේල්සය සඳහා සොලිසිටර්වරියකද වෙයි. ආයතනික/සුරැකුම්පත් නීතිය සම්බන්ධයෙන් වසර 39 කට අධික පළපුරුද්දක් හිමි පීරිස් මහත්මිය ආයතනික ප්‍රතිව්‍යුහගතකරණය, පෞද්ගලීකරණය, ප්‍රාග්ධන වෙළඳපොළ ගනුදෙනු, අත්පත්කරගැනීම් සහ ඒකාබද්ධ වීම් යනාදිය සම්බන්ධයෙන් අත්දැකීම් සම්භාරයක් ලබා ඇත.

ප්‍රියන්ති පීරිස් මහත්මිය මේ වනවිට LOLC Finance PLC, Associated Electrical Corporation Ltd, සහ MTN Corporate Consultants (Pvt) Ltd. යන සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වන අතර, කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි සමාගම් වලට ප්‍රාග්ධන වෙළඳපොළ සම්බන්ධ සේවාවන් ලබාදෙන සමාගමක් වන P W Corporate Secretarial (Pvt) Ltd හි වත්මන් සභාපතිනිය/ උපදේශිකාව ලෙසද කටයුතු කරයි. එමෙන්ම ඒ මහත්මිය 2004 වසරේ සිට 2011 වසර දක්වා මුදල් අමාත්‍යංශයේ නීති උපදේශිකාවක ලෙසද කටයුතු කර තිබේ. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ඒකාබද්ධවීම් හා පවරාගැනීම් විධිවිධාන සම්බන්ධ කමිටුවේ සාමාජිකාවකද වූ ප්‍රියන්ති පීරිස් මහත්මිය වරලත් ගණකාධිකාරී ආයතනයේ ආයතනික පාලන කමිටුවේ සාමාජිකාවකද වූ අතර, නීති කොමිසමේ (2020) සාමාජිකාවකද වෙයි. Asia Assert Finance PLC (2012-2021) සහ Abans Electricals PLC (2012-2021) යන සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකාවකද ලෙසද ඇය කටයුතු කර ඇත.

පසුගිය වසර 28 පුරාම මෙරට දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ඉදිරියෙන්ම සිටින JAT Holdings සමාගම එහි පාරිභෝගික කේන්ද්‍රීයත්වය මුල්කරගත් නවෝත්පාදනය සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා දක්වන නිරන්තර උනන්දුව වෙනුවෙන් විවිධ ඇගයීම් වලින් පිදුම් ලබා ඇත. මේ ආකාරයට ප්‍රමුඛ පෙළේ ප්‍රවීණයන් දෙදෙනෙකු තම අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීම ඔස්සේ එම සමාගම තවදුරටත් ප්‍රගතිය කරා ගමන් කරමින් රටේ දියුණුවටද ඉමහත් දායකත්වයක් දක්වනු නොඅනුමාන ය.