ඇඟලුම් නිශ්පාදන ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ගේ භූමිකාව පිලිගෙන වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගැනීම සැමගේ වගකීමක්

මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ විවිධ රැකියාවන්හි නිරතව සිටින කාන්තාවන්ගේ ජීවන තත්ත්වය වඩාත් සුරක්ෂිත කිරිමත්, වර්ධනය කිරීමත් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් රජයේ අවධානය යොමු කිරීමේ අරමුණින් කාන්තා දිනය නිමිත්තෙන් ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සාමාජික ශ්‍රී ලංකා ඇඟලුම් වානිජ මණ්ඩලයේ (SLCGE Member of JAAF) ඇඟලුම් ක්ෂේත්‍රය තුළ රැකියාවේ නිරත කාන්තා පාර්ශ්ව සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

කාන්තා භූමිකාව මත ප්‍රධාන වශයෙන් රඳා පවතින ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයේ ශක්තිය වන ඇඟලුම් කර්මාන්තයේ ප්‍රධානතම කාර්ය භාරය කාන්තා දිනයට පමණක් සීමා නොකිරීමට පියවර ගැනීම මේ මාධ්‍ය හමුවේ අරමුණ වී තිබේ.

මෙරට ඇඟලුම් කර්මාන්තයේ සේවයේ නිරත ශ්‍රමිකයන් අතරින් 85% ක් පමණ කාන්තාවන් වන අතර, විශේෂයෙන් ග්‍රාමීය පළාත්වල කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරිමේ ප්‍රධානතම රැකියා උත්පාදනය ක්ෂේත්‍රය ද වේ. කාන්තාවන් උදෙසා රැකියා ලක්ෂ ගණනක් බිහි කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟ සිටුවමින් එමගින් මෙරට ආර්ථිකයේ ප්‍රධානතම භූමිකාවට පණ පෙවීමේ අවස්ථාව උදා කරමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය කාන්තා රැකියා ප්‍රවාහයේ ප්‍රධානතම සහකරුවා බවට පත්වී සිටින බව මෙහිදී අදහස් දැක්වූ ඇඟලුම් ක්ෂේත්‍රයේ නියෝජිතවරියක ප්‍රකාශ කළාය..

මෙරට විදේශ වත්කම් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රධානතම ආර්ථික ක්ෂේත්‍රය වන ඇඟලුම් කර්මාන්තය තුළින් කාන්තාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම මෙන්ම ඔවුන්ගේ ජීවන රටාව සැළකිය යුතු අන්දමින් ඉහළ දැමීම ද කැපී පෙනේ. ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය තුළින් කාන්තාව උසස් ජීවන රටාවකට හිමිකම් ලබන අතර, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් පවුලේ සාමාජිකයන්ගේ දරු දැරියන්ගේ ජීවිතය නඟා සිටුවීම උදෙසා ගෞරවාන්විත කාර්යභාරයක නිරතව සිටින බව මාධ්‍ය හමුවට එක්වූ බොහෝ කාන්තා නියෝජිතවරියන්ගේ අදහස විය.

එපමණක් නොව ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත කාන්තාවන් සිය රැකියාවේ ගුණාත්මකභාවය අනුව උසස්වීම් හා වැටුප් වර්ධක ලබමින් සිය අනාගතය සාර්ථකව ශක්තිමත් කරගැනීමේ අවස්ථාව උදා වී ඇති ඇති බවත්, ඒ සඳහා ඔවුන්ට ලැබී ඇති අවස්ථා සහ වරප්‍රසාද අප්‍රමාණ බවත් ඔවුහු කියති.

කාන්තා මූලික කර්මාන්ත ක්ෂේත්‍රයක් වන ඇඟලුම් කර්මාන්තය තුළ එම කර්මාන්ත හිමිකරුවන් ඔවුන්ගේ ගැටලු කෙරෙහි විශේෂ අවධානයක් දක්වන අතර, මාසික වැටුපට අමතරව, දිරි දීමනා, පැමිණිමේ දීමනා හා වෙනත් දීමනා ලබා දෙමින් ඔවුන්ගේ ආර්ථිකය ස්වයංපෝෂිත කිරිමට විශාල දායකත්වයක් ලබා දෙමින් සිටින බවත්, නොමිළේ නිල ඇඳුම්, ප්‍රවාහනය, විනෝදාස්වාද අංග, වාර්ෂික විනෝද චාරිකා නොමිලේ ආහාරපාන සපයමින් විශාල දිරියක් ලබා දෙන බවත් ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය නියෝජනය කරමින් මාධ්‍ය හමුවට එක් වූ නියෝජිතවරියක් කියා සිටියාය.

විශේෂයෙන් කොවිඩ් වසංගත සමයේ දී දැඩි දුෂ්කරතා හමුවේ වූවද ඇඟලුම් ආයතන පරිපාලනය දැඩි පසුබෑමකට ලක්වූ සිය සේවක සේවිකාවන්ගේ එදිනෙදා ආර්ථික ගැටලු හැකි උපරිමයෙන් විසඳා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමත්, වැටුප් ගෙවීමට කටයුතු කිරීමත් කාන්තා නියෝජිතවරියෝ පැසසුමට ලක් කළහ.

එම කාලය තුළ සෞඛ්‍ය අංශ විසින් පනවන ලද නීතිරෙගුලාසි අනුගමනය කරමින් සිය සේවක සේවිකාවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ වැඩි අවධානය යොමු කිරීමත්, නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කරමින් ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට කටයුතු කිරීමටත් මේ අවස්ථාවට සහභාගි වූ කාන්තා නියෝජිතවරියන්ගේ දැඩි පැසසුමට ලක් විය.

එමෙන්ම කොඩිඩ් වෛරසයේ ආසාදනයට ලක්වූ සහ ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් බවට පත් වූ සේවක සේවිකාවන් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් අමිල මෙහෙවරක් ඉටු කිරීමට බොහෝ ඇඟලුම් ආයතන පියවර ගැනීමත්, එතුළින් එම සේවක සේවිකාවන්ට මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද විශාල සහනයක් ලැබී තිබීමත් සිහිපත් කරමින් ඊට කෘතවේදිත්වය පළ කිරීමට ඇඟලුම් සේවිකාවන් නියෝජනය කළ එම කාන්තාවෝ අමතක නොකළහ.

කාන්තාවගේ වටිනාකම හා වැදගත්කම කාන්තා දිනයේදී පමණක් නොව වසර පුරාම වැඩි අවධානයක් යොමු විය යුතු බැවින් පුරුෂාධිපත්‍යය මුල් කරගත් මෙරට ජන සමාජය තුළ කාන්තාවගේ භූමිකාව වඩාත් සුරක්ෂිත කිරිමට රජය මැදිහත් විය යුතු බව ඔවුන්ගේ අදහස විය. ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ට සිය රැකියාවට අදාළව ඉහළ අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය ආකාරයේ ආයතනයක් බිහි කිරිමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ කාන්තාවන්ගේ ඇතැම් සිදුවීම් ඉස්මතු කරමින් සමස්ත ක්ෂේත්‍රය තුළ සිටින සෙසු කාන්තාවන් අවමානයට ලක්වන ආකාරයේ මාධ්‍ය පුවත් සංසරණය වීම, කලා කෘති හා විවිධ මාධ්‍ය තුළින් එවැනි සිදුවීම් අළලා ඇඟලුම් ක්ෂේත්‍රයට පිවිසී සිටින කාන්තාවගේ වෘත්තීය ගරුත්වය හෙළා දැකීම කනගාටුදායක කරුණක් බැවින් එම තත්ත්වය මඟ හරවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් කඩිනමින් සකස් විය යුතු බව මාධ්‍ය හමුවට එක්වූ කාන්තා නියෝජිතවරියන්ගේ ඉල්ලීම විය.