CSBM 7 වැනි වරටත් මත්ද්‍රව්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාව ක්‍රියාත්මක කරයි

කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසල (CSBM) විසින් අඛණ්ඩව 7 වැනි වරටත් පවත්වනු ලබන මත්ද්‍රව්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාවේ සමාරම්භක උත්සවය පසුගියදා පවත්වන ලදී. CSBM යනු මෙරට විධායක අධ්‍යාපනික වැඩසටහන් පවත්වනු ලබන ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයකි.

මත්ද්‍රව්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාව සැලසුම්කර තිබෙන්නේ විශේෂයෙන්ම පොලීසිය, ත්‍රිවිධ හමුදාව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි සේවය කරන නිලධාරීන්ගේ දැනුම ඉහළ නැංවීමේ අරමුණිනි.

මත්ද්‍රව්‍ය නීතිය පිළිබඳව දේශීය, කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින තත්ත්වයන් හා ඊට අදාල නීති/ පනත් හා රෙගුලාසි පිළිබඳව දැනුම පුළුල් කිරීම මෙහි මූලිකම අරමුණකි. CSBM ආයතනය විසින් ජාතික සේවයක් වශයෙන් පවත්වා ගෙන යන මෙම පාඨමාලාවේ අරමුණ අන්තරායකර මත්ද්‍රව්‍යවලට එරෙහි ජාතික සටනට දායකත්වයක් ලබා දීමයි. එම නිසා මෙම පාඨාමාලාව සඳහා වන අය කිරීම නාමික අය කිරීමක් පමණක් වීම විශේෂත්වයකි.

පාඨමාලාවේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය. සරත් වීරසේකර මැතිතුමා සහභාගී වූයේය.

සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසලෙහි (CSBM) සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා, හිටපු නාවික හමුදාපති/ CINEC සරසවියෙහි අධ්‍යක්ෂ අද්මිරාල් තිරස සමරසිංහ මහතා, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි හිටපු උප කුලපති රියර් අද්මිරාල් ජේ. ජේ. රණසිංහ මහතා ඇතුළු පිරිසද සෙසු ආරාධිතයින් වශයෙන් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

ප්‍රකාශිත සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. ඊට අදාලව නීතිය ක්‍රියාත්මක වීම ඵලදායී මට්ටමක නොපවතින අතර, මෙම තත්ත්වයන්ගෙන් ප්‍රයෝජනය ගන්නා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන්හි අතිශය වැදගත් ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කර තිබේ.

නීතිය ක්‍රියාත්මක කිරීමට අදාලව තොරතුරු එක් රැස් කිරීමට හා විශ්ලේෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ විශාල අඩුපාඩුකම් දැකගැනීමට හැක. මත්ද්‍රව්‍ය වැලැක්වීමට ගන්නා උත්සාහයන්ට එයින් සිදුවන බාධාව සුළුපටු නොවේ. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් විසින් වාර්ෂිකව හෙරෝයින් කිලෝග්‍රෑම් 1478ක් ඉක්මවා භාවිතා කරන බව ඇස්තමේන්තුගත තොරතුරුවලින් පෙනී යන අතර, නීතියට කොටුවන්නේ එයින් ඉතාමත් සුළු ප්‍රමාණයකි.

විවිධ මත්ද්‍රව්‍ය වර්ග, මත්ද්‍රව්‍ය ජාවාරම, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයන් සතු කාර්යභාරය, මත්ද්‍රව්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන අතර පැවතිය යුතු සම්බන්ධීකරණය, දේශීය/ කලාපීය/ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන නීති හා මත්ද්‍රව්‍ය නීති ක්‍රියාත්මක කිරීමට අදාලව කලාපීය හා ජාත්‍යන්තර සහයෝගීතාවයන්/ ගිවිසුම් හා සම්මුතීන් පිළිබඳව දැනුම ලබාදීම, වැනි මාතෘකා මත්ද්‍රව්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාව මගින් ආවරණය කරයි.

මත්ද්‍රව්‍ය හඳුනාගැනීම, මත්ද්‍රව්‍යවලට අදාල ඉතිහාසය, මත්ද්‍රව්‍ය ප්‍රවණතා හා විද්‍යාගාර පරීක්ෂණ පැවැත්වීම, සෑම දේශීය මත්ද්‍රව්‍ය නීතියක්ම හා රෙගුලාසියක්ම පිළිබඳව අවබෝධය ඇතිකිරීම, නෛතික ක්‍රියාවලීන්ට අදාල සාමාන්‍ය නීති හා රෙගුලාසි පිළිබඳව අවබෝධය ඇතිකිරීම, වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් මෙහෙයවීම, තොරතුරු සපයන්නන් මෙහෙයවීමෙහි සිට වැටලීම් සංවිධානය කිරීම දක්වා පුළුල් පරාසයක මාතෘකා ආවරණය කිරීම, ජාත්‍යන්තර නීතීන්/ එකඟතාවයන් හා සම්මුතීන් පිළිබඳව දැනුවත් කිරීම හා සන්නිවේදන සහ නායකත්ව හැකියාවන් වැඩිදියුණු කිරීම වැනි අන්තර්ගතයන් පාඨමාලාවෙහිදී සාකච්ඡාවට ලක්කෙරේ.

ප්‍රායෝගික අභ්‍යාස හා පරීක්ෂණ, ඉදිරිපත් කිරීම් (presentations) හා සිසුන් පරීක්ෂාව සඳහා කණ්ඩායම් ක්‍රියාකාරකම් ආදිය ද පාඨමාලාවට ඇතුලත්කර ඇත.

මත්ද්‍රව්‍ය නීති ක්‍රියාත්මක කිරීමට අදාල ආයතනයන්හි වසර ගණනාවක් සේවය කර අත්දැකීම් සහිත නිලධාරීන්ගේ සම්පත් දායකත්වය පාඨමාලාවට ලැබෙන අතර, මෙම සහතික පත්‍ර පාඨමාලාව හැදෑරීමෙන් පසු සිසුන්ට උසස් අධ්‍යාපන ඩිප්ලෝමා, විද්‍යාවේදී උපාධි හැදෑරීම සඳහා මූලික සුදුසුකමක් වන උසස් ජාතික ඩිප්ලෝමා මට්ටම් දක්වා හැදෑරීමට අවශ්‍ය මාර්ගය විවෘත වනු ඇත. රජයට ලබා දෙන සේවාවක් වශයෙන් CSBM ආයතනය විසින් මෙම පාඨමාලාව ඉතාමත් සහනදායී මිලකට හැදෑරීමේ අවස්ථාව ලබා දී ඇත.

කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසල (CSBM) ශාස්ත්‍රාලීය, වෘත්තීය හා විධායක අධ්‍යාපන වැඩසටහන් පවත්වන පුද්ගලික හා රාජ්‍ය අංශයන් දෙකෙහිම වෘත්තිකයින්ට විධායක අධ්‍යාපන අවස්ථා ලබා දෙන කීර්තිමත් අධ්‍යාපන ආයතනයකි. විධායක අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛයෙකු වශයෙන් CSBM, පුද්ගලික හා රාජ්‍ය ආයතනයන් සඳහා පුහුණු අවශ්‍යතා සම්පූර්ණ කරදීමට කැපවීමෙන් කටයුතු කරන අතර, ඒ සම්බන්ධයෙන් මෙරට තිබෙන ඉහළම පළපුරුද්දක් සහිත ආයතනයක් වශයෙන්ද හැඳින්විය හැක.

තෘතීයික අධ්‍යාපන ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ආධ්‍යාපන කොමිසමෙහි (TVEC) ලියාපදිංචිය ලබා ඇති CSBM ආයතනයෙහි පාඨමාලාවන් සියල්ල SLQF (ශ්‍රී ලංකා සුදුසුකම් කාර්යරාමුව) සමග පූර්ණ අනුකූලතාවය දක්වන අතර, දේශීය වශයෙන් ‍හා ජාත්‍යන්තර වශයෙන්ද ඇගයීමට ලක්ව තිබේ.