මත්පැන් Online විකිණීමට අවසර ලබා නොදෙයි

සුපිරි වෙළෙඳසල් හරහා මත්පැන් මාර්ගගත ක්‍රමයට  ලබාදීමේ වැඩපිළිවෙළට   අවසර ලබා නොදෙන බව කොවිඩ් 19  පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානයේ  ප්‍රධානී යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසල්වලට  අවසරය ලබා දෙන්නැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා  මුදල් අමාත්‍යාංශයෙන්  පසුගියදා ඉල්ලීමක්  කළේය .
විවිධ පාර්ශ්වවලින් ලැබුණු ඉල්ලීම් සහ දීර්ඝ කාලිනව බදු ආදායම් අහිමි වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා එම ඉල්ලීම කර තිබුණි.

සංචාර නීති ක්‍රියාත්මකවන මේ කාලසීමාවේදී  මත්පැන් ඔන්ලයින් ක්‍රමයට සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත්  එය  කොරෝනා පාලන වැඩසටහනට විශාල බාධාවක් බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු  වෛද්‍ය ක්ෂේත්‍රයේ  විශාල පිරිසක් රජයට ද කරුණු සහිතව පෙන්වා දී තිබුණි.