මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වෙයි

එහි ශ්‍රී ලංකා නි‍යෝජිතවරිය නව සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මේ වන විට සිදුකරමින් පවතින එන්නත්කරණ ක්‍රියාවලිය දැඩි පැසසුමට ලක්කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය අලාකා සිං මහත්මිය පවසයි.

ඒ සඳහා ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය ඉතා සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද එම නියෝජිතවරිය පෙන්වා දුන්නාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර අද පැවති හමුවකදී මේ බව කීය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙලිය රඹුක්වැල්ල මහතා පත්වීමෙන් පසු එම සංවිධානයේ නියෝජිතවරයෙකු හමු වු ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙය සුහද හමුවක් ලෙස පැවැත්විණි.

හදිසි වෛද්‍ය පහසුකම් මෙරටට සැපයීම පිළිබඳව මෙහිදී එම නියෝජිතවරිය සාධනීය අදහස් දැක්වූ අතර ,යුරෝපා සංගමය හා සාකච්ඡා කරමින් ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බව අලාකා සිං මහත්මිය මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාට පැවසීය.

අවශ්‍යතාවය මත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරටට ලබාදීමට හැකි බවත්,ඒ සඳහා ඉදිරියේදී කටයුතු කරන බවත් එම නියෝජිතවරිය පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ශ්‍රී ලංකාව දිගුකාලීන මනා සබඳතාවක් පවත්වාගෙන යන බවද, එය අගය කරන බවද එම මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, රජය මේ වනවිට කොවිඩ් – 19 ව්‍යසනය පාලනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද ඇතිවන අවශ්‍යතාව මත ගතහැකි උපරිම පියවර රටෙහි ජනතාව වෙනුවෙන් නොපැකිලව ගනු ලබන්නේ යැයිද පැවසීය.මේ වනවිට ග්‍රාමීය මට්ටමින් විවිධ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොවිඩ් ආසාදිත රෝගීහු ගෘහස්ථ ප්‍රතිකාර සේවා සඳහා සාර්ථකව යොමු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කොවිඩ් – 19 ව්‍යසනය ගෝලීය වශයෙන් මැඩලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ මොහොතේ ඉටුකරන කාර්යභාරය දැඩි පැසසුමට ලක්කරන බවත් , එම සංවීධානය සමඟ දිගුකාලීන සබඳතා පැවැත්වූ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවද කොවිඩ් – 19 මැඩලීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනුලබමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.