බස්නාහිර පළාතේ නිවෙස්තුළ නිරෝධායනය වන කොවිඩ් -19 රෝගීන් කළමනාකරණයට SMS සහ විශේෂ දුරකථන අංක සේවාවක් හඳුන්වා දෙයි

නිවෙස් තුළ නිරෝධායනය වන කොවිඩ් -19 රෝගීන් කළමනාකරණය කිරීම සඳහා කෙටි පණිවුඩ හා විශේෂ දුරකථන සේවාවක්, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් හදුන්වාදිතිබේ. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPCO), සෞඛ්‍ය අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) සහ SLTMobitel, Dialog Axiata, Hutch සහ Airtel යන දුරකථන ආයතන මේ සදහා සහායවේ.

2021 අගෝස්තු 19 දින සිට බලපැවැත්වෙන පරිදි බස්නාහිර පළාත් වැසියන් සඳහා මෙම ක්‍රමයෙන් පහසුකම් සැපයේ. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPCO) විසින් අදාළ තොරතුරු ලබා ගන්නා අතර එම තොරතුරු ළඟම ඇති වෛද්‍ය කණ්ඩායම වෙත යොමු කෙරෙනු ඇත. . එමෙන්ම , සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා 247 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ රෝගියා සම්බන්ධ කර ගනු ඇත. රෝගියාගේ තත්ත්වය මත පදනම්ව, වහාම ප්‍රතිකාර සඳහා ළඟම ඇති රෝහල වෙත යැවීමට ගිලන් රථ සේවා ලබාදීමද මෙමගින් සිදුකෙරේ. සෞඛ්‍ය තත්ත්වය මත පදනම්ව, රෝගියා නිවසේ නිරෝධායනය කර ඇත්නම්, 1390 ඔස්සේ වැඩිදුර උපදෙස් සඳහා වෛද්‍යවරයෙකුට කතා කළ හැකිය.

පහත දැක්වෙන කාණ්ඩ යටතේ රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය වර්ගීකරණය කරමින් 1904 ට කෙටි පණිවිඩයක් යැවිය යුතුය.


ඒ – කොවිඩ් – 19 රෝගීයාට හුස්ම ගැනීමේ අපහසුවක් ඇත
බී- කොවිඩ් -19 රෝග ලක්‍ෂණ සහිත රෝගීයෙකි .
සී- කෝවිඩ් -19 රෝග ලක්‍ෂණ නොමැති රෝගීන්


1904 ට තොරතුරු යැවීම සඳහා පහත දැක්වෙන ආකෘතිය භාවිතා කළ යුතුය.
<රෝග ලක්‍ෂණ කේතය> <වයස> <ජාතික හැඳුනුම්පත් අංකය> <ලිපිනය>
උදාහරණයක් ලෙස: <65> <507990532V> <අළුත්ගම>

මෙම මුලපිරීම පිළිබඳව අදහස්දක්වමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේහි ( ICTA) සභාපති ඕෂද සේනානායක මහතා සඳහන් කළේ, “කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කරන මෙම තීරණාත්මක මොහොතේදී, පුරවැසියන්ගේ උපරිම ආරක්ෂාව සහ ඉක්මන් විසැදුම් ලබාදීම සහතික කිරීමට තාක්‍ෂණය උපරිම ලෙස භාවිතා කිරීම අත්‍යාවශ්‍යකරුණක් බවයි. ඒ සදහා තාක්‍ෂණ අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, විදුලිසංදේශ නියාමන කොමිසම සහ දුරකථන ආයතන එක්ව රජයේ කොවිඩ්19 පැරදවීමේ සටනට සහාය ලබාදීමට ඉදිරිපත්වී ඇතිබව ඔහු වැඩිදුරටත් සදහන් කරනලදී .