පිළිකා රෝගීන් වෙනුවෙන් සවියක් වෙමු

පසුගිය වසර 25 පුරාවට ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් ප්‍රමාණය පිළිකා මරණ අනුපාතය ඉහළ යාමත් සමඟ දෙගුණයකින් වැඩි වී තිබේ. රටේ පිළිකා රෝගීන් වෙනුවෙන් රජය විසින් නොමිලයේ සේවාවන් සපයන අතර ඒ වෙනුවෙන් සැළකිය යුතු මුදලක් වැය කිරීමට රජයට සිදු වේ. පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම සහ වළක්වා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය සිදු කරන කාර්යභාරය අති ප්‍රශංසනීයය.

පිළිකා රෝග තත්වයන්ගේ ඉහළ යාම නිසා ඒ හේතුවෙන් ඇතිවන ආර්ථික, සමාජීය සහ චිත්තවේගී බලපෑම්වලට මුහුණදීමට සිදු වේ. මේ නිසා ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන පිළිකා රෝගීන්ගේ ඉහළ යාම වළක්වා ගැනීම සඳහා රෝහල් පහසුකම්, ප්‍රතිකාර ක්‍රම වැඩි දියුණු කිරීම අවශ්‍ය වේ. මේ සඳහා රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව වැනි ප්‍රතිකාර ක්‍රම විධිමත් කිරීම සහ මෙම සේවාවන් දුර පළාත්වලටත් ලබා දීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

වාර්ෂිකව පුද්ගලයින් 30,000 ක් පමණ පිළිකා රෝගයෙන් පෙළෙන බවත් පිළිකාව නිසා සිදුවන මරණ සංඛ්‍යාව 17,000 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ. වාර්ෂිකව නව රෝගීන් 15,500 ක් හමු වන අතර සහ කාන්තා ජනගහනයෙන් වසරකට මරණ 8,000 ක් පමණ වාර්තා වේ. රෝග විනිශ්චය කරන ලද රෝගීන්ගෙන් අවම 80% ක් පුද්ගලයින් හට තනි ප්‍රතිකාර සංයෝජනයක් ලෙස රසායනික චිකිත්සාව සිදු කිරීම අවශ්‍ය වේ. රසායනික චිකිත්සාව සිදු කිරීමේ දී, සාමාන්‍ය අතුරු ප්‍රතිපලයක් ලෙසින් හිස කෙස් හැලී යාම රෝගීන් ඉතා කනස්සල්ලට පත් කරන කාරණාවකි.

කෙස් කළඹක් යනු කාන්තාවකගේ සුන්දරත්වය ඔප් නංවන ආභරණයකි. මාස කිහිපයක් රසායනික චිකිත්සාව ලබා ගැනීමට සිදුවන කාන්තාවන්ට මෙම හිස කෙස් හැලී යාමේ අතුරු ආබාධය පීඩාකාරි අත්දැකීමක් ඇති කරවයි. කාන්තාවන්ගේ රූපය වෙනස් වීම, මනෝ විද්‍යාත්මක බලපෑම්, ආත්මාභිමානය සහ ආත්ම විශ්වාසය බිඳ වැටීම වැනි බොහෝ කාරණා මෙසේ හිස කෙස් හැලී යාම නිසා ඇති වේ. මෙම කාරණා කාන්තාවන් හට සාමාන්‍ය පරිදි සිය ජීවිතය ගත කිරීමට බාධා ඇති කරයි.

හිසකෙස් නැති වීමේ මනෝවිද්‍යාත්මක විපර්යාසයන් සළකා බැලීමේ දී සමාජය සමග එකට එක්ව කටයුතු කිරීමට බිය වීම, චර්යාත්මක වෙනස්කම්, ප්‍රතික්ෂේප විමේ සහ හුදකලාව සිටීමේ හැඟීම ආදිය දෛනික ජීවිතයට බාධා ඇති කරවයි. හිස කෙස් අහිමි වෙමින් ‍යන කාන්තාවන් හට අනෙක් මිනිසුන් ප්‍රසන්න නොවන ස්වභාවයෙන් තමාව නිරීක්ෂණය කරන බවට හැඟීමක් ඇති කරවයි. මේ නිසා ඔවුන් සාද, රැස්වීම් වැනි අවස්ථාවන්වලින් වැළකී සිටීමට පෙළඹේ. මෙම තත්වයට පත්ව සිටින බොහෝ කාන්තාවන්ට තමන්ගේ සාමාන්‍ය ජීවීතය සාමාන්‍ය පරිදි ගත කිරීමට අපහසු බව පැහැදිලි වේ. විශේෂයෙන්ම රැකියා කටයුතුවල දී මිනිසුන් සමග වැඩ කිරීමේ දී අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වේ.

හිස කෙස් අහිමි වී යාමෙන් රෝගියා පීඩාවට පත් වන අයුරින්ම රෝගියාගේ පවුලේ සාමාජිකයන් ද පීඩාවට පත් වේ. විශේෂයෙන්ම මවගේ හෝ පවුලේ යම් අයෙක් පිළිකාවෙන් පීඩා විදින්නේ නම් හිස කෙස් අහිමි වීමත් සමග රූපයේ සිදු වන වෙනස නිසා දරුවන් බිය වීමට පවා හැකියාව පවතියි. අවාසනාවකට මෙන් මෙසේ හිස කෙස් අහිමි වී යාම, දික්කසාද වීම දක්වා යමින් විවාහ ජිවීතයේ ගැටලු ඇති කරයි.

මෙම පිළිකාවේ අතුරු බලපෑමක් ලෙස හිසකෙස් හැලී යාම නිසා කොණ්ඩය අහිමි වූ සහ අඩු වූ කාන්තාවන් අපට දැක ගත හැකියි. ඒ තත්වය නිසාවෙන් කාන්තාවන් මුහුණ දෙන අපහසුතාවන්ට නිසි විසදුමක් ලබා දී ඇති අවස්ථාවන් දක්නට ලැබෙන්නේ අවම වශයෙනි.

සියලුම පිළිකා රෝගීන් හට සමාන්‍ය ජීවිතයක් ගත කිරීමට සමාජයේ සහයෝගයත් ආරක්ෂාවත් අවශ්‍ය වේ. කෙසේ නමුත් සමාජය පිළිකා රෝගීන් දිරිමත් කරමින් ඉදිරියට ගෙන යාම වෙනුවට සානුකම්පිත අයුරින් බලා කටයුතු කරයි. කෙටි කොණ්ඩයක් ඇති කාන්තාවක් වෙත දක්වන ප්‍රතිචාරය, ඔවුන් එම රෝගියා වෙනුවෙන් දක්වන හැඟීම පිළිඹිබු කරයි. එම ක්ෂණික වෙනස රෝගියාගේ මනස තුළ තැන්පත් වෙමින් චිත්තවේග බිඳ දැමීම සිදු කරයි.

පොදු ප්‍රවාහනයේ දී රෝගියෙකු දුටු විට අසුන පිරි නමමින් භෞතිකව උපකාර කිරීමට සමාජය වටහා ගෙන සිටින අතර රෝගීන්ට වඩාත් අවශ්‍ය වන්නේ ඒ හා සමානව චිත්තවේගී අතින් ද උපකාර කිරීමයි. චිත්තවේග බිඳ වැටීමට එක් ප්‍රධාන හේතුවක් නම් ජනතාව අතර සෞඛ්‍ය සාක්ෂරතාව නොමැති වීම නිසා පිළිකාව වටා එතුණු සමාජ දුර්මත හා මිත්‍යා මතවාදයි. මේ තත්වය කාන්තාවන්ව සිය සුව පහසු කලාපයෙන් ඈත් කරවයි.

මේ නිසා මෙම රෝගීන්ගේ චිත්තවේගයන්ගේ යහපැවැත්ම වෙත අවධානය යොමු කිරීම සහ ඔවුනට ධෛර්යයෙන් යුතුව ඉදිරියට යාමට අවශ්‍ය සහයෝගය ලබා දීම ඉතා වැදගත් කාරණාවකි.

ආදරණීයයෙකු පිළිකාවකින් පෙළෙන විට, රෝගියා දිරිමත් කරමින් ඔහු / ඇය සතුටින් සිටින බව සහතික කරමින් මානසික කම්පනයන්ගෙන් මිදීමට සහයෝගය දැක්වීමට පවුලේ සියලුම සාමාජිකයන්, නෑදෑයන් සහ මිතුරන් වෙත සුවිශාල වගකීමක් පවතී. මෙම සුන්දර මිනිසුන් සමග එකට එක්ව නැඟී සිටිමින් ඔවුන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමට පෙළ ගැසෙමු.