ලංවා සංස්ථා සිමෙන්ට් සමාගම සහ හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෲප් ගිවිසුම් දෙකකට අත්සන් තබයි

ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (පුද්.) සමාගම සහ හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෲප් (පුද්.) සමාගම අතර විශේෂ ගිවිසුම් දෙකකට පසුගියදා අත්සන් තබන ලදි. මෙම ගිවිසුම් යටතේ, කිලෝමීටර් 2.4 ක දිගින් යුත් කන්වේයර් බෙල්ට් එකක් මගින් මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ පිහිටි සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය එකිනෙක සම්බන්ධ කෙරෙනු ඇත.

එමෙන්ම මෙම ගිවිසුම් වලට අනුව, ලංවා සංස්ථා සිමෙන්ට් සමාගම වෙත අනියුක්ත කර ඇති ජැටිය පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු සිදුකිරීමට එම සමාගම සතු ෂිප් අන්ලෝඩර් දෙකකට අවස්ථාව ලැබේ. වරාය සහ කර්මාන්තශාලාව යා කරන ඉහළම කාර්යක්ෂමතාවකින් යුත් කන්වේයර් බෙල්ට් එක නිසා අපතේ යාම් සහ පරිසර දූෂණය අවම වන අතර, මෙය පරිසර හිතකාමී ලෙස කටයුතු කරමින් කාර්යක්ෂමතාව වැඩි කරගැනීම සම්බන්ධයෙන් අනෙකුත් සමාගම් වලටද මහඟු ආදර්ශයක් වනු ඇත.

දුහුවිලි ඇතුළු නොවන පරිදි ආවරණය කර අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන මෙම කන්වේයර් බෙල්ට් එක මගින් පැයකට අමුද්‍රව්‍ය ටොන් 1,200 ක් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතී. එමෙන්ම නවීනතම යටිතල පහසුකම් භාවිතා කරමින්, ටොන් 60,000 ක ධාරිතාවෙන් යුත් නෞකාවකින් රැගෙන එනු ලබන අමුද්‍රව්‍ය දින 3 ක් තුළ ගොඩබෑමට හැකි වේ.

ලංවා සංස්ථා සිමෙන්ති සමාගම යනු 100% ක්ම දේශීය ආයෝජනයක් යටතේ ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ සමාගමකි. මෙහි විශේෂත්වය වන්නේ නිෂ්පාදන කටයුතු සඳහා නවීනතම තාක්ෂණය භාවිතා වීම ය. සිමෙන්ති මිශ්‍ර කිරීමේ කටයුතු සඳහා නවීනතම යුරෝපීය තාක්ෂණය භාවිතා වන අතර, නිෂ්පාදන ක්‍රියාවලිය තුළ භාවිතා වන යන්ත්‍රෝපකරණ, නවෝත්පාදන සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගම් විසින් සැලසුම් කරන ලද ඒවා වේ. අසුරුම්කරණ කටයුතු වලදීද කාර්යක්ෂමතාව ඉහළ නංවමින් අපතේ යෑම් අවම කරන නවීනතම තාක්ෂණයන් භාවිතා කරනු ලබයි.

“ශ්‍රී ලංකාව තුළ මේ ආකාරයට උපරිම නිෂ්පාදන හැකියාවක් සඳහා නවීනතම යුරෝපීය තාක්ෂණය භාවිතා කරන අතරම පරිසර හිතකාමීත්වය වෙනුවෙන් අඛණ්ඩ නිරීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කෙරෙන මෙම වර්ගයේ එකම කර්මාන්තශාලාව මෙයයි. මෙහි නිෂ්පාදන කටයුතු තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෲප් (පුද්.) සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙය අපගේ මාතෘභූමියේ ඉදිකිරීම් කර්මාන්තයට මහත් වූ ප්‍රතිලාභ සලසන පියවරක් වනු ඇතැයි කියා අප සිතනවා.” සංස්ථා සිමෙන්ට් සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා පැවසී ය.

මෙම කර්මාන්තශාලාවට පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය ‘ස්ටැකර් රික්ලේමර් යාර්ඩ්’ එකක් සහ ‘බ්‍රිජ්-ටයිප් ෂිප් අන්ලෝඩර්’ දෙකක් ඇතුළත් වේ. මෙය ජාත්‍යන්තර ප්‍රවණතා වලට සමගාමී වන, ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිතයෙන් භාණ්ඩ හැසිරවීම සම්බන්ධ පුරෝගාමී පියවරකි. භාණ්ඩ ප්‍රවාහන නෞකා 3 කට සමාන ගබඩා පහසුකම් ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සතු වේ. කාර්යක්ෂමතාව වැඩි කරන, අපතේ යාම් අවම කරන සහ පරිසර දූෂණය වළක්වන පියවරක් වන මෙය අනෙකුත් කර්මාන්තශාලා වලටද ආදර්ශයක් වනු නිසැක ය. මෙම සියලුම තාක්ෂණයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන්නේ ප්‍රථම වරට වන අතර, සමස්ත කලාපය තුළද මෙම පහසුකම් ඇත්තේ සීමිත කර්මාන්තශාලා ගණනක පමණි.

නිෂ්පාදන කටයුතු ආරම්භ වූ පසු, කොළඹ වරාය නගරය සහ අධිවේගී මාර්ග ඇතුළුව සියලුම ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය සිමෙන්ති සැපයීමට ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සාමාන්‍ය පෝර්ට්ලන්ඩ් සිමෙන්ති, බ්ලෙන්ඩඩ් හයිඩ්රෝලික් සිමෙන්ති, පෝර්ට්ලන්ඩ් හුණුගල් සිමෙන්ති සහ පෝර්ට්ලන්ඩ් ස්ලැග් සිමෙන්ති ඇතුළුව අඹරන ලද සිමෙන්ති නිෂ්පාදන සියල්ලම පාහේ මෙම කර්මාන්තශාලාව තුළ නිෂ්පාදනය කෙරෙනු ඇත.

ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදන සමාගම වන සිලෝන් ස්ටීල් කෝපරේෂන් සමාගමේ සහෝදර සමාගමයි. සිලෝන් ස්ටීල් කෝපරේෂන් සමාගම නිෂ්පාදනය කරන QT බාර්, හොට්-ඩිප්ඩ් ගැල්වනයිස් පයිප්ප, බොක්ස් බාර්, රවුන්ඩ් ටියුබ්, කම්බි ඇන, MS රොඩ්, පර්ලින් සහ දැල් වැනි නිෂ්පාදන ‘ලංවා’ වෙළඳ නාමය යටතේ වෙළඳපොළට පැමිණේ.

ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වන, ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Onyx Group, ඩුබායි හි Marriot Al Jadaf හෝටලය, Marangoni Industrial Tyres Lanka (පුද්.) සමාගම යන සමාගම් වල මෙන්ම, හොරණ Ferntino Tyre Corporation (Pvt) Ltd සමාගමේ ප්‍රධානියාද වේ.